ශ්‍රීලංකන් කණ්ඩායම මව්බිම වෙනුවෙන් කළ කැපකිරීම සැමට ආදර්ශයක්! – වුහාන් වීරයන් ජනපති මැදුරට කැඳවා අගයමින් ජනපති කියයි… (photos)

February 3, 2020 at 11:24 pm | by emanisa.lk

කොරෝනා වෛරසය පැතිරයාම නිසා වසා දැමුණු වුහාන් නගරයට ඇතුල්ව එහි සිටි ශ්‍රි ලාංකික සිසුන් සිය රටට රැගෙන ඒමට ජීවිත අවදානම නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශේෂ ඇගයීමට ලක් කළේය.

ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03) දහවල් ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට එක් වූහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ, අධ්‍යක්ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවෝ, ඉංජිනේරුවෝ හා කාර්ය මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක් විය.

මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මවුබිම වෙනුවෙන් කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ගුවන් නියමුවාගේ සිට සියලුම දෙනා එකම අරමුණකින් ක්‍රියා කළහ. ඔවුන් ගත් අවදානම ශ්‍රීලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් කළ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රි ලංකන් ගුවන් සේවය ඉදිරියට ගෙන යාමටත්, ලොව ප්‍රධාන ගුවන් සමාගම් සමග සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ සබඳතා පිළිබඳ ජනාධිති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස