වයස 28 දී නඩු 24ක පටලා දේශන පැවැත්වීම තහනම් කරලා! අන්තවාදයට එරෙහි වීමේ වරදට දඬුවම් විඳින අමිත් වීරසිංහගේ කතාව….

June 20, 2019 at 7:19 am | by emanisa.lk

අමිත් වීරසිංහ මහසෝන් බළකායේ ප‍්‍රධානියාය. එහෙත් දැන් එහෙම බළකායක් නැත. දිගන, තෙල්දෙණිය ප‍්‍රදේශයේ ඇති වූ සිංහල, මුස්ලිම් කෝලාහලයෙන් පසු රජය විසින් මහසෝන් බළකාය තහනම් කර ඇත. එමෙන්ම අමිත් වීරසිංහට ප‍්‍රසිද්ධියේ ජාතිකත්වය කතා කිරීම ද තහනම් කර ඇත. එහෙත් මුස්ලිම් අන්තවාදීන් විසින් බෝම්බ පුපුරුවා, මේ රට ලේ විලක් බවට පත්කිරීමත් සමඟ විවිධ ප‍්‍රදේශ තුළ උද්ගත වූ නොසන්සුන්තාව නිසා අමිත් වීරසිංහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. එපමණක් නොව අධිකරණයට ඉදිරිපත් කර අමිත් බන්ධනාගාරගත කර තිබිණි. පසුගිය 04 වැනිදා ඇප මත නිදහස් වූ අමිත් වීරසිංහ ‘දිවයින’ පුවත්පත් කාර්යාලයට පැමිණියේය.

කොහොමද අමිත්…

හොඳින් ඉන්නවා.

ට්‍රිප් එක හොඳයිද?

වරදක් නෑ. මට පුරුදු තැන නේ. මට දුක වැරැදි නොකර හිරේ දාන එක ගැනයි.

වැරැදි කරන්නෙ නැතිව කොහොමද හිරේ යවන්නේ…

මම කිසිම වරදක් කළේ නෑ. වෙන දේ බලාගෙන පාඩුවේ මහගෙදරට වෙලා හිටියා. අපිටම කියල නිවසක් තියෙද්දී පල්ලේකැලේ අපේ මහගෙදරට වෙලා ඉන්නෙත් උසාවියෙන් දීපු නියෝගයකට අනුව. පහුගිය දවස්වල වෙච්ච තෙල්දෙණියේ සිද්ධියට අපිව අත්අඩංගුවට අරගෙන මාව නිදහස් කළේ ඇප කොන්දේසි කිහිපයකට යටත් කරලා. මම ජීවත් වෙන්න ඕන අපේ මහගෙදර. විදේශගත වෙන්න බෑ. සෑම සතියකම ඉරිදා උදේට පොලිසියට පෙනී ඉන්න ඕනෑ. මම ඉන්න ගෙදරින් පිට ගිහින් එක දවසක් ඉන්න අධිකරණයෙන් අවසර ගන්න ඕනෑ. එහෙම ඉන්නකොට තමයි පහුගිය මාසෙ 14 වැනිදා පාන්දර 3.45 ට විතර පොලිසියෙන් ඇවිත් මාව අත්අඩංගුවට ගන්න ලෑස්ති වුණේ. එතකොට මම ඒ නිලධාරීන්ගෙන් ඇහුව ඇයි මාව අත්අඩංගුවට ගන්නෙ කියලා. ‘පොලිස්පතිතුමා නියෝග කරපු නිසා අත්අඩංගුවට ගන්නවා’ කියලා ඒ නිලධාරීන් කිව්වා. ඊට පස්සෙත් මම කිව්වා මාව අත්අඩංගුවට ගත්තට ප‍්‍රශ්නයක් නෑ. මම කරපු වරද පැහැදිළි කරලා දෙන්න කියලා. එතකොට ගේ ඇතුළේ හිටපු පොලිස් නිලධාරීන් කිහිපදෙනා එළියට ඇවිත් කෝල් කර, කර ඉඳලා ආයෙමත් ගේ ඇතුළට ගිහින් ‘අත්අඩංගුවට ගන්න හේතුව අපි දන්නේ නෑ. ඉහළින් ආපු නියෝගයක්. කොළඹට ගිහින් බලමු’ කියලා මට කිව්වා. පොලිසියත් එක්ක අනවශ්‍ය ගැටුමක් ඇති නොකරගෙන මම අත්අඩංගුවට පත් වුණා…

ඔබව අත්අඩංගුවට ගන්න ආවේ කොහේ පොලිසියෙන්ද?

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට ආරම්භ කරලා තියෙන කිරුළපන විශේෂ පොලිස් කොට්ඨාසයෙන්.

ඔබව කෙළින්ම ගෙනාවේ කිරුළපන පොලිසියටද?

ඔව්.

ප‍්‍රශ්න කිරීමක් සිදු කළාද?

කිසිම ප‍්‍රශ්න කිරීමක් කළේ නෑ. බලාගෙන ඉන්න බැරිම තැන රෑ 10.45 ට විතර මම කිව්වා හේතුවක් නැති නම් මම යන්නම් කියලා. එතකොට පොලිස් නිලධාරියෙක් මට කිව්වා ‘නෑ… නෑ… දැන් ඔයාව අධිකරණයට ඉදිරිපත් කරනවා…’ කියලා. ඊට පස්සේ අලූත්කඬේ අංක තුන මහෙස්ත‍්‍රාත්තුමියගේ නිල නිවසට මාව ඉදිරිපත් කළා. මට විරුද්ධව ඇති චෝදනා විදිහට පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේ ‘මාව ඝාතනය කරන්න ඉස්ලාම් ත‍්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක් බලාගෙන ඉන්නවා. පොලිසියට ඒ ගැන බුද්ධි අංශයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ අවස්ථාවේ මාව ඝාතනය කළොත් මා වටා ඉන්න තරුණ පිරිස කලබල ඇති කරලා රට අස්ථාවර කරන්න පුළුවන්…’ කියලා. එතකොට මහෙස්ත‍්‍රාත්තුමිය කිව්වා මනුෂ්‍යයෙක් රිමාන්ඞ් කරන්න වරදක් කරලා චෝදනාවක් තියෙන්න ඕනෑ. එහෙම නැතිව රිමාන්ඞ් කරන්න ක‍්‍රමවේදයක් නෑ. මේ පුද්ගලයා වරදක් කරලා චෝදනාවක් තියෙනවා නම් අධිකරණයට දැනුම් දෙන්න, ඒ අනුව මම සලකා බලන්නම්…’ කියලා. ඊට පස්සෙ ආයෙමත් පහුවෙනිදා (15 වැනිදා) හවස 2 ට මාව අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අවස්ථාවේ මට විරුද්ධව ඇති චෝදනා විදිහට පොලිසිය අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණේ් 2015 අවුරුද්දේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මම කරපු දේශනයක්. එදා මම ඒ දේශනයේදී කිව්වෙත් සහරාන්ලාගේ ඉස්ලාම් ත‍්‍රස්තවාදය ගැන තමයි. ඊට පස්සේ නඩුකාරතුමිය කිව්වා ‘පරීක්‍ෂණ කරන්න ඕනෑ නම් පැයක කාලයක් දෙන්නම්’ කියලා. එතකොට පොලිසිය කිව්වා ‘නෑ ස්වාමිනී පරීක්‍ෂණ කරන්න දවස් දාහතරක් ඕනෑ’ කියලා. ඊට පස්සේ අධිකරණය විසින් මාව දවස් දහහතරකට රිමාන්ඞ් බන්ධනාගාරගත කළා. දවස් දාහතරකට පස්සෙ ඇප ගන්න යනකොට පොලිසිය චෝදනා ගොනු කරලා තිබුණේ මහජන ආරක්‍ෂණ පනත යටතේ. ඒ පනතේ තියෙනවා නීතිපතිවරයාගේ හෝ විධායක ජනාධිපතිවරයාගේ අවසරයක් නැතිව, මහෙස්ත‍්‍රාත් උසාවියකට ඇප දෙන්න බෑ කියලා. නමුත් ඒ පනත දාන්න පුළුවන්ද, බැරිද කියලා තීරණය කරන්න මහෙස්ත‍්‍රාත් උසාවියකට බලය තියෙනවා. අධිකරණය විසින් ඒ ගැන සලකා බලා මේ පනත මේ නඩුවට ගැලපෙන්නෙ නෑ කියලා පනත ඉවත් කරලා තමයි මට ඇප ලබා දුන්නේ.

දවස් කීයක් හිරේ හිටියද?

විසිහතරයි.

මේ හිරේ ගිය කී වැනි වතාවද?

දෙවැනි වතාව. රිමාන්ඞ් කූඩුවල නම් අනන්තවත් නැඟලා තියෙනවා.

ඔබ හිරේ ගියේ මිනීමැරුම්, මංකොල්ලකෑම්වලට වැරැදිකරුවකු වෙලාද?

එහෙම දේවල් කරන්න නම් තුන් හිතකවත් නෑ. මේ වෙද්දී මට තියෙන සියලූම නඩු ජාතික සංහිඳියාවට බාධා කිරීමේ චෝදනාව යටතේ ගොනු වෙච්ච නඩු. පෞද්ගලික කිසිම නඩුවක් නෑ.

නඩු කීයක් තියෙනවාද?

විසිපහක් තියෙනවා.

ඔච්චර නඩු වැටෙන්න සාමයට බාධා වන අයුරින් ඔබ මොනවද කරලා තියෙන වැරැදි…

ජාතිවාදය පතුරුවන්න මම කතා කරලා නෑ. ඉස්ලාම් වහාබ් වාදය, ඉස්ලාම් මූලධර්මවාදය මේ රටට පිළිලයක් වෙන හැටි ගැන පෙන්නා දුන්න නිසා තමයි මට මේ නඩු වැටිලා තියෙන්නේ.

එහෙම කිව්වට පහුගිය කාලේ තෙල්දෙණියේ ඇති වූ සිංහල, මුස්ලිම් කෝලාහලය නිර්මාණය කළේ ඔබ කියලා චෝදනාවක් තියෙනවා…

ඒක අමූලික බොරුවක්. මම එහෙම කළා කියලා කිසිම සාක්‍ෂියක් නෑ. එදා වෙච්ච ගැටුම නිවන්න මහන්සි වුණා, මිසක් ජාතිවාදය අවුලවන්න කටයුතු කළේ නෑ. මම ඒ සිද්ධි වෙච්ච තැනට ගියෙත් ඒ කාලේ හිටපු ඞී.අයි.ජී. මහත්තයා කතා කරපු නිසයි. ඒ හැරෙන්න අමිත් වීරසිංහවත්, මහසොන් බළකායවත් ඒ සිද්ධියට කිසිම සම්බන්ධයක් නෑ. ඒ ජාතිවාදි ගින්න නිර්මාණය කළේ ආණ්ඩුවේ ඕනෑකමට ආණ්ඩුවේම වන්දිභට්ටයන්. අන්තිමේ ඒ කුණු ගොඩත් වැටුණේ මගේ කරපිට. ඒ සිද්ධියට සම්බන්ධව මාව විතරක් නෙමෙයි මගේ සහෝදරයා, බිරිඳගේ සහෝදරයා අපි සේරම අත්අඩංගුවට අරගෙන රිමාන්ඞ් කළා. මාස දහයකට ආසන්න කාලයක් රිමාන්ඞ් භාරයේ ඉඳලා අන්තිමේදී රජයේ නීතිඥයා මහාධිකරණයෙන් ඉල්ලීමක් කරනවා මාව තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන්න කියලා. එතකොට මහෙස්ත‍්‍රාත්තුමිය කිව්වා අමිත් වීරසිංහට විරුද්ධව එක ප‍්‍රබල සාක්‍ෂියක් ගේන්න, මම ඒ ගැන සලකා බලන්නම් කියලා. ඒ කියලත් මාස ගාණක් හිටියා සාක්‍ෂියක් හොයාගන්න බැරි වුණා. අන්තිමේ මට විරුද්ධව සාක්‍ෂියක් දී ගන්න බැරිව ඇප දුන්නා.

මහසෝන් බළකාය මොන වගේ සංවිධානයක්ද?

මහසොන් බළකාය කියන්නේ අන්තවාදයට අකැමැති සංවිධානයක්. ඒ සංවිධානයේ ඉන්නේ ආගම්වාදයට, ජාතිවාදයට අකැමැති පිරිසක්. 2013 අවුරුද්දේ අගෝස්තු මාසෙ මහසෝන් බළකාය පිහිටුවාගත්තේ මේ රට සමකාමී රටක් බවට පත් කරගන්න. ඒ සංවිධානය තුළ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ විවිධ තරුණ පිරිස් සාමාජිකත්වයෙන් එකට බැඳිලා අපිත් එක්ක සහජීවනයෙන් වැඩ කරගෙන යනවා. රටේ ව්‍යසන අවස්ථාවලදී ජාති, ආගම් බේදයකින් තොරව අසරණ මිනිස්සුන්ට උපකාර කළා. යාපනේ දෙමළ සමාජයේ උසස් කුලවල මිනිස්සු පහත් කුලවල මිනිස්සුන්ට ලේ දෙන්නේ නෑ. මහසෝන් බළකායේ අපි සිංහල, දෙමළ, මුස්ලිම් තරුණයන් සීයකට වැඩි පිරිසක් ගිහින් ඒ මිනිස්සුන්ට ලේ දීලා ආවා. මුස්ලිම් සමාජය තුළ අන්තවාදය පතුරුවන අන්තවාදීන් ගැන සියලූ තොරතුරු මුස්ලිම් තරුණයන් විසින්ම අපිට ලබාදෙනවා. ඒ ලැබෙන තොරතුරු පාදක කරගෙන මහසෝන් බළකාය හරහා අපි ගමින්, ගමට ගිහින් ජනතාව රැස් කරලා මුස්ලිම් අන්තවාදයේ අනතුර ගැන මිනිස්සුන්ට පෙන්නා දුන්නා. ඒ වගේම රටේ නිර්මාණය වෙමින් තිබුණු ආගම්වාදයේ සහ අන්තවාදයේ භයානකකම මිනිස්සුන්ට අවබෝධ කර දුන්නා. මුස්ලිම් තරුණයන් එකතු කරගෙන සහරාන්ලා කරපු දේශන නතර කළා.

2017 අවුරුද්දේ අගෝස්තු 22 වැනිදා මහනුවර කෙන්ගල්ල ගනිසප ක‍්‍රීඩාංගණයේදී මරාගෙන මැරුණු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සහරාන් හාසීම් දේශනයක් පැවැත්වුවා. ඒ රැස්වීම සංවිධානය කරලා තිබුණේ ශ‍්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයයි, ජාතික තව්හිද් ජමාත් සංවිධානයත් එකමුතුවෙන්. අබ්දුල් රාශික් සහ සහරාන් හසීම් දෙන්නා එකතු වෙලා. මුස්ලිම් තරුණයන් දෙදහසකට වැඩි පිරිසක් ගෙන්නලා අන්තවාදී දේශන පැවැත්වුවා. අපි එතැනට ගිහිල්ලා ඒ දේශනය නතර කළා. ඊට පස්සේ එවකට මහනුවර ඞී.අයි.ජී. මහත්තයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ඇවිත් දේශනය ඉදිරියට කරගෙන යන්න ඉඩ දෙන්න කියලා අපිට තර්ජනය කළා. එතකොට මම කිව්වා ‘මේ අය අන්තවාදය පතුරුවනවා කියලා නැගෙනහිර පළාතේ මුස්ලිම් මිනිස්සු පැමිණිලි කරලා තියෙනවා. මේක කරන්න දෙන්න බෑ’ කියලා මමත් තරයේ කියා හිටියා. අපෙත් විශාල පිරිසක් හිටියා. ගැටුමක් ඇති වෙයි කියලා හිතලා පොලිසිය රැස්වීම නතර කරලා දෙපිරිසටම එම ස්ථානය තහනම් කලාපයක් කළා. දවස් කිහිපයකට පස්සේ ඒ සිද්ධියට නඩු දාලා මට සිතාසියක් එවනවා. මට නඩු දාලා හරි එදා අපි කිව්ව දේ අහලා සහරාන් හසීම්ගේ බැංකු ගිණුම් චෙක් කරලා බිලියන

ගාණක් සල්ලි ආපු හැටි පරීක්‍ෂණ කරලා සහරාන්ව අත්අඩංගුවට ගත්තා නම් පාස්කු ඉරිදා අහිංසක මිනිස්සු මැරෙන්නේ නෑ. අදත් මම කියන්නේ මුස්ලිම් ත‍්‍රස්තවාදය තවම ඉවර නෑ. සහරාන් එක්ක එකට හිඳගෙන අන්තවාදය වපුරපු අය නිදැල්ලේ ඉන්නවා. ඒ කිසිම කෙනෙක්ව මේ වන විටත් පොලිසිය අත්අඩංගුවට අරගෙන නෑ. තව අවුරුදු පහක් යන්න මත්තෙන් ඔය මුස්ලිම් අන්තවාදීන් සහරාන් හැඬෙවුවා වගේ අපේ ජාතියම හඬවනවා. ඒ විනාශය පාස්කු ඉරිදා වෙච්ච විනාශයට වඩා සිය ගුණයකටත් වැඩි වෙන්න පුළුවන්…

අනාගතයේ සිදුවෙනවා කියන ඒ මහා විනාශය ගැන ඔබ දැනුවත් ද?

සහරාන්ගේ අන්තවාදී ත‍්‍රස්තවාදය ගැන අපි දැක්කෙ අවුරුදු හතඅටකට ඉස්සෙල්ලා. ඒ ගැන අපි ආරක්‍ෂක අංශවලටත් කියලා තියෙනවා. තෙල්දෙණිය සිද්ධියෙන් පස්සේ මහසෝන් බළකායේ ප‍්‍රධාන කාර්යාලයේ ඉබි යතුරු කඩලා පොලිසිය අත්අඩංගුවට ගත්ත ලිපිගොනු අස්සේ සහරාන්ලාගේ ක‍්‍රියාකාරකම් ගැන, අපේ රටේ ඉස්ලාම් අන්තවාදී නායකයන් හාරසිය අසුදෙකක තොරතුරු සහිත ඉස්ලාම් අන්තවාදයට උදව් උපකාර කරන අයගේ තොරතුරු තියෙනවා. අපිට ඒ තොරතුරු ලබා දීලා තියෙන්නේ ඉස්ලාම් සමාජයෙන්මයි. හඳුනාගත් ඉස්ලාම් අන්තවාදී නායකයන් හාරසිය අසූදෙදෙනාගෙන් එක් අයෙක් තමයි සහරාන් හසීම් කියන්නෙ. තව හාරසීය අසූ දෙකක් නිදැල්ලේ ඉන්නවා. අදටත් ඒ ලිපි ගොනු පොලිස් අත්අඩංගුවේ තියෙනවා. ජාතියේ නාමයෙන් මේ රට ලේ විලක් නොවෙන්න නම් එම ලිපිගොනු පරීක්‍ෂා කර ඒ තොරතුරුවලට අදාළ පුද්ගලයන් ගැන පරීක්‍ෂණ කරන්න කියලා මම පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

මහසෝන් බළකායේ නායකයා විදිහට ඔබට දැන් ඉල්ලීම් කරන්න බෑ…

ඔව්… පොලිසිය මහසෝන් බළකාය තහනම් කළා.

ඔබ කියන විදිහට මහසෝන් බළකාය හරහා ලොකු වැඩ කොටසක් කරලා තියෙනවා. මහසෝන් බළකායට සල්ලි කොහෙන්ද එන්නෙ…

ස්වයං රැකියා ලක්‍ෂයක් ආරම්භ කරන දැවැන්ත වැඩපිළිවෙළකට අපි අත ගහලා තිබුණා. ස්වයං රැකියා අටසිය පනහක් විතර අපි දීලාත් තිබුණා. ඒවායෙන් පොඩි ආදායමක් අපේ සංවිධානයට ආවා. ඒ හැරෙන්නට අපිට වෙන ආදායම් තිබුණේ නෑ. අපි කරන වැඩවලට සල්ලි අවශ්‍ය වුණෙත් නෑ. ලේ දෙන්න සල්ලි ඕන නෑ. ගංවතුරෙන් අවතැන් වූ මිනිස්සුන්ට උපකාර කරන්න දානපතියන්ට කියන සුනංගුවට ආධාර උපකාර කරනවා. ගමින්, ගමට ගිහින් දේශන පවත්වන්න සල්ලි ඕන නෑ. මගේ වාහනයට තෙල් ගහගත්තාම ඇති. අපිට පෙළපාළියක් යන්න ඕන වුණහම වාහන දහස් ගාණක් අරගෙන ලක්‍ෂ ගණන් මිනිස්සු පාරට බැස්සා. ඒ මිනිස්සු ආවේ ඔවුන්ගේ වියදමෙන්. දෙයිහාමුදුරුවන්ගේ පිහිටෙන් මට ජීවත් වෙන්න ඉදිකිරීම් ව්‍යාපාරයක් තියෙනවා. ඒකෙන් හොඳ ආදායමක් එනවා. මම හොඳ ව්‍යාපාරිකයෙක් කියලා පොලිසියත් පරීක්‍ෂණ කරලා පිළිගෙන තියෙනවා. මගේ ව්‍යාපාරයෙන් ලැබෙන ආදයමෙනුත් මම ජාතිය නඩත්තු කළා මිසක්, ජාතිය විකුණගෙන මම නඩත්තු වුණේ නෑ.

ඔබ මේ කියන්නේ මහසෝන් බළකායට විශාල ජනතා බලවේගයක් තිබුණා කියලා…

අනිවාර්යයෙන්ම ඔව්. රට පුරා අපේ සංවිධානය ව්‍යාප්ත වෙලා තිබුණා. 2018 අවුරුද්දේ මාර්තු මාසෙ 8 වැනිදා පොලිසිය විසින් මාව අත්අඩංගුවට ගන්නකොට මහසෝන් බළකායේ ප‍්‍රධාන කාර්යාලයේ තිබිලා අපේ සමාජිකයන්ගේ අයැදුම්පත් දෙලක්‍ෂ හැත්තෑ තුන්දාහක් අත්අඩංගුවට ගත්තා. ඒ අතර දෙමළ තරුණයන් දෙදහසකට ආසන්න පිරිසක් හිටියා.

ජනතා බලවේගයක් හදාගෙන දේශපාලනයට එන්න නේද ඔබේ සූදානම…

අමිත් වීරසිංහට දේශන, රැස්වීම් පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම්. මහසෝන් බළකායට රැස්වීම් පවත්වන්න බෑ. මහසෝන් බළකාය කියන නම යටතේ පාරෙ හතරදෙනෙක් ගියත් අත්අඩංගුවට ගන්න පුළුවන්. මහසෝන් බළකායට අනාගතයක් නෑ. ජාතිය වෙනුවෙන් වෙන විකල්පයක් හදාගෙන මම ඉදිරියට එනවා. ඒකට බයේ තමයි මහනුවර දේශපාලන බලකඳවුරු කිහිපයක් එකතු වෙලා මගේ නමට කළු තෙල් ගාන්න හදන්නෙ. ඒ කොන්ත‍්‍රාත්තුව භාරගෙන තියෙන්නෙ මහනුවර පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්. ඒ පොලිස් නිලධාරීන් ආරක්‍ෂක කමිටුව හරහා ගමක්, ගමක් ගානෙ කියාගෙන යනවා ‘අමිත් වීරසිංහ ළඟට යන්න එපා… එයාට පිටරටින් සල්ලි එනවා… කෝටි ගණන් දේපළ තියෙනවා’ කියලා. මම කියන්නේ මම අයථා විදිහට මුදල් උපයාගෙන තියෙනවා නම් පරීක්‍ෂණ කරලා මට නඩු දාන්න. එහෙම නැතිව මට මඩ ගහන්න එපා.

මහසෝන් බළකායට පිටරටින් සල්ලි එනවා නේද?

එහෙම සල්ලි ඇවිත් තියෙනවා නම් ඔප්පු කරලා පෙන්වන්න.

මේ කියන්නේ මහසෝන් බළකාය සහ ඔබ පිරිසිදු කියලා නේද?

ඔව්… විදානපතිරණගේ අමිත් වීරසිංහ ජාතියෙන් යැපෙන කෙනෙක් නෙමෙයි. මම එහෙම කළොත් මගේ දරුවො දෙන්නටත් ඒකේ වන්දිය ගෙවන්න වෙනවා.

ඔබගේ වයස කීයද?

විසිඅටයි.

ඔබගේ කතාවෙන් තේරෙන්නේ අනාගතයේදී දේශපාලනයට එන බවයි…

එහෙම අදහසක් තියෙනවා. ඒකට පසුබිම හදා දෙන්නේ මහනුවර දේශපාලන බල කඳවුරු සහ පොලිසිය.

ඔබ කියන්නේ දේශපාලනඥයන් සහ පොලිසිය ඔබව පුම්බනවා කියලා…

එහෙම හිතන්න පුළුවන්. මේ රටේ ජනතාව ලක්‍ෂ දෙසිය විස්සක් ඉන්නවා. ඒ ජනතාව අතරින් මේ වෙද්දී මට විතරයි අධිකරණයකින් දේශන පැවැත්වීම තහනම් කරලා තියෙන්නේ. නීතියේ නාමයෙන් මගේ අතපයත් බැඳලා, කටටත් ප්ලාස්ටර් ගහලා තියෙන්නෙ. නීතියෙන් තහනම් කරලා නැත්තේ පන්සිල් ගන්න එකයි, දේශපාලනය කිරීමයි විතරයි. ඉතිං මම ඒ දෙක කරන්නෙ නැතිව වෙන මොනව කරන්නද?

තරංග රත්නවීර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස