බොරු අපචාර නඩු දාන්න දැරියකට බලපෑම් කළ පොලිසි අමාරුවේ! දැරියට වන්දි ගෙවන්නත් වෙයි!

June 17, 2019 at 11:30 am | by emanisa.lk

අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ සභාපති හෝ අන් කිසිවෙක් සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූවේ නැතැයි බාලවයස්කාර දැරියක් දැඩිව කියා සිටියදීත්, ලිංගික වශයෙන් ඇයට කිසිදු හානියක් සිදුවී නැතැයි ඇය පරීක්‍ෂාවට භාජන කළ වෛද්‍යවරු වාර්තා කර තිබියදීත් දින ගණනාවක් තිස්සේ ඇය අත්අඩංගුවේ තබාගෙන ඒ පිළිබඳ තවදුරටත් ප‍්‍රශ්න කරමින් හා බලපෑම් කරමින් ඇයට සිදුකළ හිරිහැරයට සහ අවමානයට වන්දියක් වශයෙන් රුපියල් ලක්‍ෂයක් ගෙවීමට මාතර පොලිසියේ පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්තට නියෝග කළ අතර ඊට අමතරව රුපියල් 50,000 ක් ගෙවන ලෙස රජයට නියෝග කළේය.

මාතර පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශය භාර එකී පොලිස් නිලධාරිනියට නියම කළ වන්දි මුදල රුපියල් 25,000 බැගින් සිව් වතාවකට මාස 12 ක් ඇතුළත එම දැරියට ගෙවිය යුතු යයිද නියම කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ පොලිස් නිලධාරිනියගේ හැසිරීම හා ක්‍රියා කලාපය හේතුකොටගෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 11, 12 (1) 13(1), 13(2) යන වගන්තිවලින් සහතික කොට ඇති මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවයි.

නීතිය බලාත්මක කරන නිලධාරීන් බලය අනිසි ලෙස පාවිච්චි කර ජනතාව පීඩාවට පත්කිරීම රටේ බහුල වශයෙන් සිදුවන බවත් ඒ ගැන උසාවිවලට පැමිණිලි ලැබෙන්නේ අල්ප වශයෙන් යයි සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය විශේෂයෙන් කුඩා ළමුන් අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, සිරගත කිරීම ඇතුළු ජනතාවට නීතියෙන් හා ව්‍යවස්ථාවෙන් හිමි කරදී ඇති මූලික අයිතීන් උල්ලංඝනය නොවන ආකාරයට බලය පාවිච්චි කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් මාලාවක් සකස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු තීන්දුවෙන් පොලිස්පතිට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය එකී නියෝග නිකුත් කළේ අකුරැස්ස නිල් මැණික්ගම පදිංචි ලන්දගේ ඉෂාරා අන්ජාලි සහ ඇගේ මව විජේසිංහ චූලාංගනී ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවයි.

මෙහි 01 වන පෙත්සම්කාරිය වන අන්ජාලී 2012 දී මෙම සිද්ධිය වන විට 14 හැවිරිදි දැරියකි. දැන් 21 හැවිරිදි ඇය දරුවෙක් ලැබීමට ආසන්නව සිටින විවාහක කාන්තාවකි.

බුවනෙක අළුවිහාරේ, පි‍්‍රයන්ත ජයවර්ධන සහ විජිත් කේ. මලල්ගොඩ යන ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.

පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන සෑම පුද්ගලයෙක්ම පැය 24 ක් ඇතුළත මහෙස්ත‍්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කළ යුතුයි. අත්අඩංගුවේ සිට රෝහලකට ඇතුල් කරනවා නම් මහෙස්ත‍්‍රාත්වරයෙකුගේ නියෝගයකට අනුව කළ යුතු යයි අපරාධ නීති සංග‍්‍රහයේ 122 (21) වගන්තියේ දක්වා ඇත. එසේ වූවද මෙහි පෙත්සම්කාරිය වන අන්ජාලි සම්බන්ධයෙන් එම කාර්යය පටිපාටිය අනුගමනය කර නැත. එකී නීති විරෝධී කි‍්‍රයාවන් සියල්ල සිදුවී ඇත්තේ මාතර එවකට සිටි ස්ථානාධිපතිවරයාගේ අනුදැනුම මත බැවින් එකී පොලිස් නිලධාරිනිය මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයාටත් අන්ජාලි දැරියගේ මූලික අයිතිවාසිකම් 12(1) උල්ලංඝනය කිරීමට වරදකරුවන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර ඇත.

පොලිස් නිලධාරිනිය අදාළ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇත්තේ එම දැරියගේ හෝ ඇගේ සමීප ඥාතියෙකු කළ පැමිණිල්ල උඩ නොව පිටස්තරයකුගෙන් ලැබුණු තොරතුරක් උඩයි.

පොලිස් නිලධාරිනිය පොලිස් කණ්ඩායමක් සමග දැරියගේ නිවසට පැමිණ ප‍්‍රශ්න කළ අවස්ථාවේදී අකුරැස්ස ප‍්‍රාදේශීය සභාපති හෝ වෙනත් අයෙකු සමග ලිංගික සම්බන්ධකම් පැවැත්වූයේ නැතැයි ඇයත් ඇගේ මවත් පියත් පවසා ඇත. ඒ අනුව පරීක්‍ෂණ කටයුතු එතනින්ම නතර කර දැමිය යුතුව තිබුණි. නමුත් ඇය අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් එතැන සිට හැතැප්ම 20 ක් දුරින් පිහිටි මාතර පොලිසියට ගෙන ගොස් විවිධාකාරයෙන් ඇයට බලපෑම් කරමින් පරීක්‍ෂණ කටයුතු දිගටම ඇදගෙන ගොස් ඇත්තේ උසස් පොලිස් නිලධාරියෙකුගේ හෝ වෙනත් පාර්ශවයකගේ උවමනාවකට බව අධිකරණයේ තීරණය වී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන අළුවිහාරේ මහතා විනිසුරු මඩුල්ලේ සිටි අනිත් විනිසුරුවන් දෙදෙනාගේ එකඟත්වය ඇතිව නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.

ජනාධිපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ අධිනීතිඥ පුලස්ති හේවාමාන්න සමඟ පෙත්සම්කරුවන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්ටිගේ ද සිල්වා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටියාය.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව