ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ පසු ජනාධිපති මට චෝදනා කරන්නේ ඇයි? – අගමැති

September 24, 2019 at 9:13 am | by emanisa.lk

ප්‍රසිද්ධියේ මත පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයට සුදුසු නොවන බවත් වගකීම් සහගත ක්‍රියාවක් නොවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (23) පැවැසීය.

සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් සම්බන්ධව ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු ලබාදීමේ අරමුණින් අගමැතිවරයා මෙම නිවේදනය නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනාවන් කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳව ජනාධිපතිට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය ඇත්තේ අගවිනිසුරුට සහ නීතිපතිට පමණයි. මම කිසි විටෙක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නැහැ. ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන අය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන තියෙනවා. ඒ ගණයට මම වැටිලා නැහැ. දිල්රුක්‍ෂි වික්‍රමසිංහ හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්න යැයි ඉල්ලමින් මම ලිපි යොමුකර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කළා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා.

දිල්රුක්‍ෂි වික්‍රමසිංහගේ ප්‍රකාශයන් පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතුයි. දැනට නීතිපති මේ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්‍ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලනඥයන් කවුරුන්දැයි හෙළි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම ඇය නීති විරෝධී කටයුතු කර ඇත්නම් ඒවාත් තහවුරු කර ගැනීමට හැකි වේවි.

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ කිසි දිනෙක අරලියගහ මන්දිරයේ සේවය කර නැහැ. දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර තිබුණේ අරලියගහ මන්දිරයේ නෙවෙයි. ඉන් පිටතයි. ආනන්ද විජේපාල එහි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළා. මේ කමිටුවේ සාකච්ඡා සඳහා නීතිපති දෙපාර්තමේතුව නියෝජනය කරමින් පැමිණියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත මුදලිගෙයි.

ඒ නිසා ජනාධිපති කියූ කරුණු සත්‍යයෙන් තොර බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමැතියි.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා මේ ආකාරයට මා ඉලක්ක කර ගෙන චෝදනා කරන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසා ද කියා මම නම් දන්නේ නෑ. මට හෝ ඇමැතිවරුන්ට හෝ චෝදනා ඇත්නම්, අප පිළිබඳව සැක සංකා ඇත්නම් වඩාත් යෝග්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ ඒ ගැන සාකච්ඡා කිරීමයි. එක්කෝ පෞද්ගලිකව විමසීමයි. එසේ නොමැතිව ප්‍රසිද්ධියේ ඒ ගැන මත පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට සුදුසු නොවන බව මගේ හැඟීමයි. එය වගකීම් සහගත ක්‍රියාවක් ද නෙවෙයි.

ඒ වගේම මින් ඉදිරියට මට විරුද්ධව චෝදනා එල්ල කළහොත්, එසේ එල්ල කරන අවස්ථාවක් අවස්ථාවක් පාසා පිළිතුරු දීමට මම පෞද්ගලිකව මැදිහත් වෙන්නේත් නෑ. ඒ නිසා චෝදනා තිබේ නම් ඒවා නිසි ස්ථානයන්හි මතුකරන මෙන් මම සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය එය බවත් මම මෙහිදී අවධාරණය කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස