අහෝ අපට හෙටක් නැති කළේ කවුද? ජවිපෙ ඉතිහාසය පුරා ඉටු කළේ කාගේ උවමනාවද? – ජවිපෙ උපත පවත විපත ගැන විමසුමක්…

August 3, 2019 at 8:59 am | by emanisalk

“හෙටක් නැති අහෝ අපි!” යන තේමාව රැගත් පෝස්ටර් රට පුරා අලවමින් ජනතා විමුක්ති පෙරමුණ සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර තිබේ. එම තේමා පාඨය ඔස්සේ පසුගිය වසර 70කට අධික කාලයක් මේ රට පාලනය කළ පිරිස නිසා රට ආගාධයට වැටුණේය යන අදහස ජනතාව අතරට ගෙන යාමට ජවිපෙ කටයුතු කළ ද පාලක පක්ෂ මෙන්ම ජවිපෙ ද අද රට පත්ව ඇති තත්ත්වයට හරි හරියට වගකිව යුතු බව විද්වතුන්ගේ මතයයි.

ඔවුන් පෙන්වා දෙන ආකාරයට ඒ බව වටහාගත හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ බිහි වූ දා සිට කළ කී දෑ අනුව මිස ඔවුන් විසින් කලින් කලට ඔසවා ගෙන එන විවිධ බොල් සටන් පාඨවලින් නොවේ. අනෙක් අතට ජවිපෙ සමාජය අලෙවි කරන සටන් පාඨවලට සපුරා ප්‍රතිවිරුද්ධ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා ප්‍රායෝගික තලයේ කටයුතු කරන බවට ද චෝදනා නැඟෙයි.

මේ සඳහා ආසන්නතම උදාහරණය ජවිපෙ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය බව අද සාමාන්‍ය දේශපාලන දැනුමක් ඇති ජනතාව ද කියන කතාවකි. මෙම විශ්වාසභංගය සද්භාවයෙන් ගෙන ආ බවත් එය ඉතාම ප්‍රගතිශීලී ආණ්ඩු විරෝධී ක්‍රියාවක් බවත් මතුපිටින් පෙනුණි. නමුත් එය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය නිසා සීසීකඩ වී බිඳ වැටෙන්නට ගිය ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට වෙස් වළාගත් ආශීර්වාදයක් විය.

සියලු පාර්ශව ආණ්ඩුව රැක ගැනීමට වාදභේද අමතක කර දමා නැවත එක්වූහ. ඇමති වජිර අබේවර්ධන විසින් ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුවට යෝධ ශක්තියක් යැයි ප්‍රකාශ කළේ එහෙයිනි. ජනතා විමුක්ති පෙරමුණ මතුපිට සටන් පාඨවලින් ආණ්ඩු විරෝධී රංගනයක යෙදෙමින් තම භක්තිමත් අනුගාමිකයන් ද රවටමින් අවසානයේ සිදුකර ඇත්තේ එජාප ආණ්ඩුව රැක දීමට දිය හැකි උපරිම ශක්තිය ලබා දීමය. තමන් එරෙහි යැයි කියන ධනපති අන්ත දක්ෂිණාංශික එජාපයට දරදිය ඇදීමය.

මේ ව්‍යාපාරය ප්‍රතිගාමී කඳවුර ආරක්ෂා කරන අතර පීඩිත පන්තියේ මුරදේවතාවුන් වහන්සේ ලෙස ද එකවර පෙනී සිටීම එක අතකින් අභියෝගාත්මක එහෙත් දක්ෂ කළමනාකරණ හැකියාවකි. මේ නිසා ප්‍රතිගාමී කඳවුරට හිතැති බලවේග විසින් අරමුදල් පොම්ප කරමින් ද රට පුරා 5%ක පමණ අනුගාමික පිරිසක් ඡන්දය ලබා දෙමින් ද ජවිපෙ නඩත්තු කරති. මෙසේ බලන කල ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර විසින් ජනතා විමුක්ති පෙරමුණ සිය සමාගම් ජාලයටත් වඩා ලාභ ලබන ව්‍යාපාරයක් ලෙස හඳුන්වා දීම යුක්ති යුක්තය.

මෙම දේශපාලන උපක්‍රම තේරීම ජවිපෙ උපන්ගෙයි දෝෂයක් බව සමහරු කියති. 1965 ආරම්භ කළ ජවිපෙ 1971 පෙරළා දැමීමට උත්සාහ කළේ සමාජවාදයට නැඹුරු සිරිමාගේ ආණ්ඩුවය. ඊට පසු ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කර ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යැවීමට සැලසුම් කරන විට ප්‍රබල ජවිපෙ සාමාජිකයන් දෙදෙනෙකු එම කොමිසම හමුවෙ සාක්ෂි ලබා දුන් අතර “ශ්‍රීලනිපයේ ගමනක අවසානය” යනුවෙන් දේශන මාලාවක් සංවිධානය කරමින් රෝහණ විජේවීර රට පුරා ගියේය. 1982 ජනාධිපතිවරණට ඉදිරිපත් වූ රෝහණ විජේවීර එජාප විරෝධී කඳවුරේ අපේක්ෂකයා දුර්වල කිරීමට කටයුතු කළේය.

අනතුරුව 88-89 යුගයේ එජාප ආණ්ඩුවට එරෙහිව ජවිපෙ ආයුධ අතට ගත්තාට වඩා සිදු වූයේ ජවිපෙට එරෙහිව ආණ්ඩුව යුද ප්‍රකාශ කිරීම බව ඇතැමුන්ගේ මතයයි. 1988 ජනාධිපතිවරණය අවස්ථාවේ ශ්‍රීලනිපය සමග සන්ධානගත වී සිරිමා බණ්ඩාරනායකගේ ජයග්‍රහණය උදෙසා කටයුතු කර එජාප ආණ්ඩුව පරාජයට පත්කිරීම නායක රෝහණ විජේවීරගේ මතය වුවද පක්ෂය තුළ ජයගත්තේ ඩී.එම්. ආනන්ද සහ සමන් පියසිරි ප්‍රනාන්දු ඉදිරිපත් කළ මතය බව විද්වතුන් පෙන්වා දෙති.

ඔවුන් පැවසුවේ එවක පැවති ආණ්ඩුව ඉල්ලා අස්වීම, පළාත් සභා අහෝසි කිරීම සහ භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සහ ඒ යටතේ මහා මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් පැවැත්වීම ඇතුළු කිසිදා ආණ්ඩුව කැමති නොවන යෝජනා මාලාවක් ශ්‍රීලනිපය ඇතුළු පක්ෂ සමග ආණ්ඩුවට ඉදිරිපත් කළ යුතු බවය. අනතුරුව එම යෝජනාවලිය අසාර්ථක වූ විට එහි වරද දුර්වල ශ්‍රීලනිපය මත පටවමින් තම සමාජ බලය උපයෝගී කරගෙන ඔවුන්ට තනිකර පහර දිය යුතුය. අගමැති ප්‍රේමදාස ජනාධිපති වූ පසු ශ්‍රීලනිපය තවත් දුර්වල කළ විපක්ෂ බලය අල්ලා ගැනීම ඊළඟ පියවර විය.

මෙම උපක්‍රම තේරීමේ දී සිය පක්ෂයට ලබාගත හැකි දේශපාලන වාසිය මිස රණසිංහ ප්‍රේමදාස ප්‍රමුඛ එජාපය බලයට පත්වීම නිසා සිදුවිය හැකි මහා විනාශය ජවිපෙ දුටුවේ නැත. එහි ප්‍රතිඵලය ලෙස ජවිපෙ එම තීන්දුව ගත් සියලු දෙනා ඇතුළු හැට දහසක් පමණ තරුණ පිරිසක් ඝාතනයට ලක්ව කෝටි ගණනක රාජ්‍ය සහ පෞද්ගලික දේපළ විනාශ වූ බව බොහෝ දෙනා පෙන්වා දී තිබේ. 2005 රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ ද මෙම තර්කය නැඟුණු බව විමල් වීරවංශ නැත්ත වෙනුවට ඇත්ත පොතේ සඳහන් කර තිබේ.

එහිදී වර්තමාන ජවිපෙ නායක අනුර දිසානායක දැරුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීම සඳහා අනියමින් උදව් කර අනතුරුව ඔහු යටතේ විනාශයට පත්වන රටේ ඉච්ඡාභංගත්වය විනාශය තම පක්ෂය බලවත් කරගැනීමට පොහොර කරගත යුතුය යන ආචීර්ණ කල්පික මතයයි. කෙසේ වුවද රටේ වාසනාවට එහි දී 1988 රෝහණ විජේවීර දැරූ මතයේ එල්බ සිටි විමල් වීරවංශ, සෝමවංශ අමරසිංහ ආදීන්ගේ මතය ජයගත්තේය. එහෙයින් මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය උදෙසා ජවිපෙ කටයුතු කළේය.

කෙසේ වුවද නැවත 2010 සහ 2015 ද ජවිපෙ කටයුතු කළේ සිය සුපුරුදු දේශපාලන උපක්‍රමය අනුවය. එය 2010 අසාර්ථක වුවද 2015 සාර්ථක වූ අතර ඊට පසු ද එම සාර්ථකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ ව්‍යාජ සටන් පාඨවලට මුවා වී එජාප ආණ්ඩුව රැක ගැනීමට කටයුතු කළ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. නිදසුනක් ලෙස 2018 වසරේ රනිල් අගමැති ධුරයෙන් පහ කළ විට ජවිපෙ ඔහු නැවත බලයට ගෙන ඒමට කටයුතු කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම නමැති සටන් පාඨයට මුවා වෙමිනි.

ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නට ඔවුන් බලයට පත් කළේ පළාත් සභා ඡන්ද කල් දමා මැතිවරණ සිතියම හකුළා දැමූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවය. රජ කෙනෙකු මෙන් පක්ෂ නායකත්වය අවුරුදු 25ක් දරන රනිල් වික්‍රමසිංහය. ජවිපෙ එදා දෙමළ ජාතික සන්ධානය ද සමග අත්වැල් බැඳගෙන රනිල් වික්‍රමසිංහ නැවත බලයට පත් නොකරන්නට පාස්කු ඉරිදා සංහාරය සැමට රහසේ නිශ්ක්‍රීය වූ ප්‍රහාරයක් වන්නට ඉඩ තිබූ බව ඇතැම් ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

2014 වන විට 7%ක ආර්ථික වර්ධනයක් පැවති රටක් 2015 සිට වසර 05ක් පුරා 8% ආර්ථික වර්ධනයක් මහ බැංකුව පුරෝකථනය කළ රටක් හිඟමනට ඇද දැමීමට ජවිපෙ පෙරමුණ ගත්තේය. අද රටේ ආර්ථික වර්ධනය 3%කි. රටේ අනාගත පරපුර සතුවිය යුතුව තිබූ හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් පිටරැටියන්ගේය. ජනතාව අතර නැවත අවිශ්වාසය වෛරය සැක බිය සංකා මතුව ඇත. විරැකියාව සමාජ අසහනය මන්දපෝෂණය ඉහළ ගොසිනි. බොහෝ කර්මාන්ත බිඳ වැටෙමින් ඇත.

මේ සියල්ලට පාලක පන්තියට චෝදනා කරන ජවිපෙ එම පාලකයන් පත් කර ගැනීමට ඉතිහාසයේ සිදුකළ කාර්යභාරය අමතක කරයි. ඉතිහාසය පුරා ජවිපෙ උපක්‍රම තේරීම ඔස්සේ “හෙටක් නැති අහෝ අපි” පෝස්ටරය අලවන තැනට රට දක්කා ගෙන ඒමට ඔවුන් සිදුකළ විනාශය කොටි සංවිධානය සිදුකළ විනාශයට වඩා වැඩි බව ඇතැම් පිරිස් පවසති. මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ ජවිපෙ සැලසුම හඳුනාගත යුත්තේ මෙකී පදනම මත බව විද්වතුන්ගේ අදහසය.

ජනතා විමුක්ති පෙරමුණ අවසාන වතාවට ජනාධිපතිවරණයක් සඳහා අපේක්ෂකයෙතු ඉදිරිපත් කළේ 1999 වසරේදීය. ඒ නන්දන ගුණතිලකය. මෙම ජනාධිපතිවරණයේ දී 1994 ජනාධිපතිවරණයට සාපේක්ෂව එජාපය 7%කින් සිය ඡන්ද පදනම වැඩි කරගෙන රනිල් වික්‍රමසිංහ 42%ක් ලබා ගත් අතර 1994 වසරේ 62%ක් ලබා ජයගත් චන්ද්‍රිකා කුමාරතුංග යන්තම් 51%ක් ලබාගෙන ජයගත්තාය.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබූ අවස්ථාවේ චන්ද්‍රිකාට මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයක් එල්ල නොවන්නට ඒ මත අනුකම්පා ඡන්ද ප්‍රමාණයක් ඇයට නොවැටෙන්නට ජයග්‍රාහකයා රනිල් වික්‍රමසිංහ වන්නට ඉඩ තිබුණු බව දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය. මෙම ජනාධිපතිවරණයේ දී ජවිපෙ ලද ඡන්ද ප්‍රමාණය 344 179කි. මේ ඡන්ද එජාප විරෝධී ප්‍රගිතිශීලි කඳවුරේ ජනතාවගේ ඡන්දය. ඒ ඡන්දයෙන් ජනාධිපති ධුරයට ඔසවා තැබීමට උත්සාහ කළ නන්දන ගුණතිලක අද එජාපයේ පානදුර සංවිධායකය.

ජවිපෙ මෙවර ද උත්සාහ කරන්නේ ප්‍රගතිශීලි වාමාංශික ඡන්ද ප්‍රමාණයක් කඩමින් ජාතිකවාදී කඳවුරේ අපේක්ෂකයා පරාජය කොට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ප්‍රතිගාමී කඳුවර ජයග්‍රහණය කරවීමට මිසි කිසිවකට නොවේ. රටට හිතැති ප්‍රගතිශීලි ජන මනස් වියවුල් කිරීමටය. රනිල් වික්‍රමසිංහ බලයට පත්ව විපක්ෂ බලවේගය ද විනාශ කර මේ රට විසාලා මහනුවරක් වූ විට ඒ සොහොනේ මිනී මලක් වී පිපීම ජවිපෙ එකම අරමුණය.

ජවිපෙ නායකත්වය සමාජය විසින් “රතු අලි පැටව්” යයි හඳුන්වන තැනට පක්ෂය දක්කා ගෙන ගිය නායක අනුර දිසානායක ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහු නතර වනු ඇත්තේ හිටපු ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක නතර වූ තැනට එහා ගොස් බව ජවිපෙ දේශපාලන ඉතිහාසය පිළිබඳ දැනුමැති බොහෝ දෙනා පවසති.

ඉඳුනිල් වික්‍රමසිංහ

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස