ආණ්ඩුව රකින්න ජවිපෙ ගෙනා අරුම පුදුම විශ්වාසභංගයේ ඇත්ත මෙන්න! ජවිපෙ කොන්ත්‍රාත්තුව දුන්නේ රනිල් ද? ඊබ්‍රාහිම් ද?!

May 23, 2019 at 3:52 pm | by admin

ඒකාබද්ධ විපක්ෂය විසින් ඇමති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයේ පළමු චෝදනාව මේ වන විටත් සනාථ වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි. ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේ දී (22) වන දින හෙතෙම මෙසේද පැවසීය.

අපි රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයාට එරෙහිව සාක්ෂි සහිත චෝදනා 10ක් අඩංගු විශ්වාස භංග යෝජනාවක් භාර දුන්නා. එජාප මන්ත්‍රි හේෂා විතානගේ කිව්වේ මේ චෝදනා ඔප්පු වුණොත් තමන් සහය දෙන්න සූදානම් කියලා. ඔන්න දැන් පළමු චෝදනාව සත්‍යයක් බව යුද හමුදාපතිවරයාම සනාථ කර තිබෙනවා. එතුමා අපේ කෙනෙක් නෙමෙයි. මේ ආණ්ඩුව විසින් පත්කළ යුද හමුදාපතිවරයා. එතැනදී රිෂාඩ් ඇමතිවරයා මොකක්ද කියන්නේ. මම අදුරන කෙනාගෙ පුතාව අරගෙන ගිහින් තිබුණා. පොලීසියෙනුත් නෙවෙයි අරං ගිහින් තියෙන්නේ. ඒ නිසා එහෙම කෙනෙක් ඉන්නවාද කියලා අහන්නයි යුද හමුදාපතිතුමන්ට කතා කළේ කියලා.

මොකක්ද හමුදාපතිතුමන්ගේ උත්තරය. මට හදිසි නීතිය යටතේ පුද්ගලයෙක් වසර එක හමාරක් රඳවා තියාගන්න පුළුවන්. ඒ නිසා අවුරුදු එක හමාරකින් කතා කරන්න. අදාළ පුද්ගයා ඉන්නවද කියලා ඇහුව නම් ඉන්නව කියන්න වසර එක හමාරක් ඉල්ලනව ද? නෑ. ඉන්න පුද්ගලයා නිදහස් කරන්න කියලා බලපෑම් කළ නිසා තමයි හමුදාපතිවරයා කියන්නේ මට වසර එක හමාරක් තියාගන්න පුළුවන් ඒ නිසා තව වසර එක හමාරකින් කතා කරන්න කියලා. යුධ හමුදාපතිතුමන් දෙන උත්තරය තුලම රිෂාඩ් ඇමතිවරයා ත්‍රස්තවාදී සැකකරුවෙකු නිදහස් කරගන්න එතුමන්ට බලපෑම් කරපු බව ඉතාම පැහැදිලි. එවැනි කාරණයක් රට ඉදිරියේ හෙළි කිරීමට තරම් පෞරුෂත්වයක් තිබීම ගැන අපි අපේ යුද හමුදාපතිවරයා ගැන ආඩම්බර වෙනවා. රිෂාඩ් ඇමතිවරයා පිළිබඳ සමාජයේ මතු වී ඇති කෝපය නිසා පක්ෂයට වඩා ඉදිරියෙන් රට තියලා මේ විශ්වාස භංග යෝජනාවට සහය දෙන්න එජාප සහ දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන් රාශියක් ඉදිරිපත් වුණා. මේ යෝජනාව ජයග්‍රහණය කරන ලකුණු හතර වටින් මතු වෙන්න ගත්තා.

යෝජනාව සම්මත වෙන බව දැක්කාම වඩාත් කලබල වුණේ ජවිපෙ. එක පැත්තකින් තමන්ගේ බරපැන දරන රනිල් හාමුගේ ආණ්ඩුව රකින්න ඕනෑ. අනිත් පැත්තෙන් තමන්ගේ බරපැන දරන තවත් කෙනේක වෙන ඊබ්‍රහිම්ගේ හිතවතා වන රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා රකින්න ඕනෑ. ඒ නිසා එජාප ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. මේක තමයි ලෝක ඉතිහාසයේ පළමු වරට ආණ්ඩුවක් රැක ගන්න ගෙනාපු විශ්වාසභංග යෝජනාව. අපි අපේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ කිව්වා, මේක දින්නත් දිනුම්. පැරදුනත් දිනුම්. දින්නොත් මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ ඇමතිවරයාට බලය අහිමි වෙනවා. පැරදුනොත් ඉස්ලාම් අන්තවාදින් රකින මන්ත්‍රිවරුන් කවුදැයි රට ඉදිරියේ හෙලි වෙනවා.

ජවිපෙ විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරන විධිය දැන් ජවිපෙ අපට කියන්න ඕනෑ. ජවිපෙට එහෙම සැලැස්මක් නෑ. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවාම එජාපය වගේම දෙමළ සන්ධානයත් එජාප ආණ්ඩුව රකින්න ඡන්දය දෙන බව අපි 2018 අප්‍රේල් වගේම නොවැම්බර් මාසයේත් දැක්කා.

එදා අපි ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ ආණ්ඩුව පෙරලලා අපේ ආණ්ඩුවක් පිහිටුවන්න. ජවිපෙ අපි ආණ්ඩුවක් හදනවාටත් විරුද්ධයි. එහෙම නම් එජාප ආණ්ඩුව පෙරලලා හදන්නේ කාගේ ආණ්ඩුවක් ද? දැන් ජවිපෙ මන්ත්‍රිවරුන් හයදෙනාට ආණ්ඩුවක් හදන්න පුළුවන් ද? ඒ නිසා ජවිපෙ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ආණ්ඩු පෙරලන්න නොවේ ආණ්ඩුව රකින්න. ජවිපෙ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරලා ආණ්ඩුව පෙරලන හැටිත් ඊට පස්සේ ජවිපෙ අලුත් ආණ්ඩුවක් පිහිටුවන හැටිත් වහාම රටට කියන්න ඕනෑ. ආණ්ඩුව පෙරළුවට පස්සේ ජවිපෙ ආණ්ඩුවක් හදන්න 113 හදාගන්න හැටිත් රටට කියන්න ඕනෑ.ඒක කියා ගන්න බැරි නම් තමන් අද ගෙනැවිත් තියෙන්නේ මේ ආණ්ඩුව රැක ගැනීමේ ඒ වගේම රිෂාඩ් බදියුදීන් කියන ත්‍රස්තවාදය රකින අන්තවාදියා රකින විශ්වාසභංග යෝජනාවක් කියලා පිළි අරගෙන මෙම යෝජනාව ජවිපෙ විසින් ඉවත් කර ගත යුතුයි.

ජවිපෙ ඔළුව උඩ තියාගෙන ගෙනාපු 19 වන සංශෝධනය නිසා ආණ්ඩුව පැරදුනා කියලා අඩුම ගණනේ පාරලිමේන්තුව විසුරුවා හරින්නත් බෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුනේ විශ්වාස භංග යෝජනාව සම්මත වුණත් මේ පාරලිමේන්තුව තුලින්ම තමයි අලුත් ආණ්ඩුවද සෑදිය යුත්තේ. ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමන් අද හෙටම මාධ්‍ය හමුවක් පවත්වා ආණ්ඩුව පෙරළීමට ඉලක්කම් හදා ගත් හැටිත් ජවිපෙ ආණ්ඩුවට 113 හදා ගන්නා හැටිත් රටට කියාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඇයි අපි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවේ එජාප රජය සහ රිෂාඩ් අමාත්‍යවරයා රැක ගන්න කියල. රිෂාඩ් අමාත්‍යවරයා ගාව මන්ත්‍රිධූර පහක් තියෙනවා. ඒ නිසා එජාප ආණ්ඩුව රැක ගන්න රිෂාඩ්ගේ මන්ත්‍රි ධූර පහ ඕනෑ. මෙතෙක් කල් අසරණව අනේ මගේ අමාත්‍යධූරය රැක දෙන්න කියලා හැගීම්බරව කියපු රිෂාඩ් ඇමතිවරයාට ජවිපෙ විශ්වාසභංගය නිසා නව පණක් ලැබෙනවා. ඔන්න දැන් ඔහුට කේවල් කිරීමේ බලයක් ලැබිලා. දැන් රිෂාඩ් දානවා කොන්දේසියක්. අපේ සහය ආණ්ඩුවට දෙන්නේ ඔබ මාව රකිනවා නම් පමණයි. මා රැකුනොත් ඔබ රැකේවි ඔබ රැකුනොත් මා රැකේවි කියන එකානෙකා මත ලැදියාවක් ජවිපෙ විසින් රිෂාඩ් අමාත්‍යවරයාට අද ගොඩ නගා දී තිබෙනවා. ආණ්ඩුව රැක ගන්න රිෂාඩ් ඉදිරියේ දනින් වැටෙන්න මෙතෙක් සිංහයින් වගේ හිටිය එජාප මන්ත්‍රිවරුන්ට සිදු වෙනවා.

ජවිපෙට ඕනෑ දේශප්‍රේමි සහ දේශද්‍රෝහි ලෙසට පාරලිමේන්තුවේ ඇඳුණු බෙදුම් රේඛාව මකලා දාලා යළිත් මන්ත්‍රිවරුන් පක්ෂ අනුව පෙල ගස්සලා රිෂාඩ් බදියුඩීන් රැක ගන්නයි. ජවිපෙ රිෂාඩ් වෙනුවෙන් මෙතරම් පෙනි සිටින්නේ ඇයි? රිෂාඩ් සහ ජවිපෙ අතර තිබෙන නොකැඩෙන යකඩ දම්වැල තමයි මොහොමඩ් ඊබ්‍රාහිම් යූසුෆ් කියන කුප්‍රකට ව්‍යාපාරිකයා. රිෂාඩ් බේරුණොත් විතරයි ඊබ්‍රාහිම් බේරෙන්නේ. ඊබ්‍රාහිම් බේරුණොත් තමයි ජවිපෙ බේරෙන්නේ.

රිෂාඩ් රකින්න ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදායත් අමු අමුවේ උල්ලංඝනය කරයි ද?

ඊයේ දිනයේ හරි අපූරු දෙයක් පාර්ලිමේන්තුවේ සිදුවුණා. අප ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට දිනයන් නියම කිරීමට ඊයේ දිනයේ නියමිතව තිබුණා. නමුත් මන්ත්‍රි කණ්ඩායම රැස් වුණාම ආණ්ඩුවේ සභානායක කියනවා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කරන්නට දැන් ඉල්ලලා තිබෙනවා. අපි ඒ තේරීම් කාරක සභාව පත් කරනවා. එම කාරක සභාවේ තොරතුරු අනුව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැරදිකරුවෙක් වුණොත් අපි මේ විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගනිමු කියලා.

මේක පාර්ලිමේන්තු සම්ප්‍රදාය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ව්‍යවස්ථාවට අනුව ඉදිරිපත් කර ඇති චෝදනා සත්‍ය බවට ඔප්පු කර ඒ අනුව කෙනෙක් ඉවත් කිරීමට පාවිච්චි කරන වචනය විශ්වාසභංගය නොවෙයි. දෝෂාභියෝගයයි. ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ට එරෙහිව ගෙන එනු ලබන්නේ දෝෂාභියෝගයයි. එහිදී එම දෝෂාභියෝගය සම්මත කිරීමට කලින් එම චෝදනා වල සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරනවා. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ විට අනුර යාපා මන්ත්‍රි තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා සාක්ෂි විභාගයක් සිදු කරලා ඒ අයගේ වාර්තාව මත පදනම් වෙලා තමයි ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තුමිය ඉවත් කළේ. නමුත් විශ්වාසභංගය කදී එහෙම නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයක් හිතනවනම් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා තමන්ට විශ්වාස නැහැ කියලා එය හොඳටම ප්‍රමාණවත් ඔහුව ඉවත් කිරීමට.

ඒ නිසා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෝෂාභියෝගය සම්බන්ධ විධිවිධාන විශ්වාසභංගය එකට අමුණා තබා රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා බේරාගැනීමේ කූට වෑයමක මේ ආණ්ඩුව අද යෙදී සිටිනවා. මොකද ආණ්ඩුව දන්නවා මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළොත් ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ ප්‍රශ්නයකට ආණ්ඩුවට මුහුණ පාන්න වන බව. මේ යෝජනාව සම්මත වෙනවා. මොකද පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් බහුතරයක් ඔහුගේ අන්තවාදී ක්‍රියා දාමයට එරෙහි වෙනවා. එහෙම එරෙහි වුණොත් රිෂාඩ් තමන්ට අහිමි වෙනවා. එහෙම එරෙහි නොවුණොත් ජනතාවගේ ඡන්දය ඔවුන්ට අහිමි වෙනවා. දෙකම නොවෙන්නට මේ ආණ්ඩුව මේ විශ්වාසභංගය විවාදයට නොගෙන සිටීමට උත්සාහ දරයි. ආණ්ඩුව ඒ කපටි තැනට තල්ලු වුණත් පාර්ලිමේන්තුවේ වගකිවයුතු විපක්ෂයක් විදිහට, ජනතාවගේ ජීවිත උදුර ගත්ත මේ බෝම්බ ප්‍රහාරයෙන් ලේ ඇඟ පුරාම තැවරුනු රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා බේරාගන්නට ඇවිල්ලා ඔහුගේ ඇඟේ තැවරුණු ත්‍රස්ත ප්‍රහාරයේ ලේ තමන්ගේ ඇඟේ ගා ගන්න එපා කියලා අපි එජාපයටත් ජවිපෙටත් අනතුරු අඟවනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස