සජිත් ප්‍රේමදාස රණවිරු ගැටලුව විසඳාවි යැයි බය වූ අය විරෝධතාව නතර කළා! නැත්නම් සජිත් ප්‍රේමදාස හෙට නැත්නම් අනිත්දා විසඳුම් අරගෙන රණවිරු පාමුළට යනවා! – සජිත් ප්‍රේමදාස (video)

October 1, 2019 at 10:29 am | by emanisa.lk

කොටුව දුම්රියපොළ ඉදිරිපිට දින 20ක පමණ කාලයක් විරෝධතාවක නියලුණු රණවිරුවන්ට සජිත් ප්‍රේමදාස මැදිහත් වී විසඳුමක් ලබා දෙනු ඇතැයි බියට පත් වූ කණ්ඩායම් එම විරෝධතාව අවසන් කිරීමට කුමන්ත්‍රණයයක් දියත් කළ බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

එම විරෝධතාව පිටුපස සිටි බලවේගය අද හෙළිදරව් වූ බව ද ඔහු පැවසුවේය.

සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.

උපවාසයේ නිරත රණවිරුවන්ගේ ප්‍රශ්නය නිරාකරණය කරගැනීම සඳහා තමන් අද එම ස්ථානයට ගොස් ඔවුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දින පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ජා කර විසඳුමක් සමඟ නැවත පැමිණෙන බව අවධාරණය කිරීමෙන් අනතුරුව මෙතෙක් කාලයක් මර නින්දේ සිටි කණ්ඩායම් පැමිණ හිටිහැටියේම කිසිම විසඳුමක් දීමට පෙර උපවාසය අවසන් කළ බව ප්‍රේමදාස කියා සිටියේය.

ඒ අනුව දින 20ක් පුරා මේ උපවාසය සංවිධානය වූයේ කෙසේද යන්න බුද්ධිමත් ජනතාවට වැටහෙන ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ මෙම උපවාසය පැවති ස්ථානයට පැමිණ එය අවසාන කරන ලෙස කළ ඉල්ලීමට අනුව උපවාසය අවසන් කර තිබුණි. කෙසේ වුවද මෙම උපවාසය ආරම්භ කළ අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ රණවිරුවන් වෙත මේජර් ජනරාල් කමල් ගුණරත්න මගින් පණිවිඩයක් එවමින් ඉල්ලා සිටියේ මෙම විරෝධතාව අවසන් කරන ලෙසත් තමා බලයට පත්වී දින කිහිපයක් ඇතුළත ඊට විසඳුම් ලබා දෙන බවත්ය.

කෙසේ වුවද ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා නොදී ඊට බාධා කරමින් රණවිරු විරෝධතාව දින 20ක් තිස්සේ ඇදගෙන යාමට කටයුතු කළේ ද සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රබලයකු වන ඇමති මංගල සමරවීර විසිනි.

මේ ආකාරයට දින 20ක් තිස්සේ රණවිරුවන් කොටුවේ මහ වැසි මැද තෙමෙන්නට ඉඩ දුන්නේ සජිත් ප්‍රේමදාස වීරයකු ලෙස කොටුවට යවා රණවිරු වැටුප ලබා දීමට කටයුතු කර සිය ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට එහි වාසිය ලබා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස සහ මංගල සමරවීර සිදුකළ සැලසුමක් අනුව ද යන සැකය දේශපාලන විශ්ලේෂකයෝ මතු කරති.

මෙම ගැටලුව විසඳීමට ආණ්ඩුවට උවමනා නම් ඊට ආබාධිත රණවිරුවන් කොටුවේ විරෝධතා කළ යුතු නැති බවත් ජනාධිපතිවරයා දැනටමත් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව අනුමත කිරීම ප්‍රමාණවත් බවත් ඔවුහු වැඩි දුරටත් සඳහන් කරති.

මෙම රණවිරු විශ්‍රාම වැටුප් සඳහා වසර 10කට වැය වන මුදලට වැඩි මුදලක් ඇමති පාඨලී චම්පක රණවක වැනි ඇමතිවරුන් පසුගිය මාස කිහිපය තුළ සිය ප්‍රතිරූප නැංවීම පිණිස විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය දැන්වීම් සඳහා භාවිත කළ බවට ද චෝදනා නැඟෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස