ආබාධිත රණවිරු ගැටලුව අද නොවිසඳුවහොත් හෙට සියලු රණවිරුවන් මහා සංඝ රත්නය සමග ගෝල්ෆේස් පිටියට!

September 17, 2019 at 10:29 am | by emanisa.lk

ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම්වලට පැහැදිලි විසඳුම් ලබා දීමට අද (17) දිනය ඇතුළත ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් හෙට (18) ගෝල්ෆේස් පිටියට සියලු ආබාධිත රණවිරුවන්ද, රණවිරු පවුල් මහජනතාවද එකතු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පැවැසීය.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ කොටුව දුම්රියපොළ අබියස ඊයේ (16) හයවැනි දිනයටත් පවත්වනු ලැබූ ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට එක්වෙමිනි.

“ආබාධිත රණවිරුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන්ද මියගිය රණවිරුවන්ගේ පවුල් වෙනුවෙන්ද සාධාරණයක් ඉටුවන තුරු සංඝ සමාජය ඔවුන් සමග සිටිනවා. එම නිසා නිදහස භුක්ති විඳින සියලු ජන කොටස්වලට ආරාධනා කරනවා ආබාධිත රණවිරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න පැමිණෙන්න කියලා.”

“ඒ මගින් දැවැන්ත ජනතා ව්‍යාපාරයක් ඔස්සේ ආණ්ඩුවට බලපෑම් කිරීමට සංඝ රත්නයත් සූදානම්. කළගුණ සලකන ජාතියක් ලෙස ප්‍රසිද්ධ වූ රටක ජාතියකට නිග්‍රහ කරමින් ආණ්ඩුව රණවිරුවන් පාරට ඇද දමා තිබීම බලවත් අසාධාරණයක්.” යැයි එහිමියන් වැඩි දුරටත් පැවසීය.

සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීමට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වයිස් අද්මිරාල් සරත් වීරසේකර පැවසුවේ මැති ඇමැතිවරුන්ට වසර 5ක් පාර්ලිමේන්තුවේ සිටින විට විශ්‍රාම වැටුප් ද තීරු බදු රහිත වාහනද, වෙනත් වරප්‍රසාද ලැබෙන නමුත් අත් පා අහිමි කරගත් දිවි පූජා කළ රණවිරුවන්ට ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දීමට පවා ආණ්ඩුවට නොහැකිව ඇති බවය.

“මෙය මාරාන්තික උපවාසයක් දක්වා නොගොස් පැහැදිලි විසඳුම් ලබාදීමට පාලකයන් වහාම ක්‍රියාකළ යුතුයි. රටේ නිදහස භුක්ති විඳින සමස්ත ජනතාවටම ආබාධිත රණවිරු සටනට සහායවන්න යැයි ඉල්ලා සිටිනවා.” යැයි ඔහු වැඩි දුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස