මම ජනාධිපතිවෙලා මන්දිරවලට යන්නේ නෑ! දවසට පැය 4ක්වත් නිදා නොගෙන රට දියුණු කරනවා! – සජිත්

September 6, 2019 at 10:24 am | by emanisa.lk

මගේ තරුණ ජවය නවීන ආර්ථික දර්ශනය මේ රටේ ඉහළම තැනට ඔසවා තබන ලෙස මේ රටේ ලක්ෂ 220ක් වන ජනතාවට ආයාචනා කරන බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ (05) කුරුණෑගල පැවති සජිත් එනවා ජනරැලියට එකතු වෙමින් ඔහු වැඩි දුරටත් මෙසේ පැවසීය.

තමා එම තනතුරට පත් වූ පසු මහා මන්දිරවලට නොයන බවත් තමන්ගේ මන්දිරය පොදුජන සේවය බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

සැමියා නිවසට ගෙන එන ආදායම දෙගුණ දෙගුණ කිරීමට ස්වයං රැකියා තුළින් මේ රටේ කාන්තාවන් සවිබල ගන්වන බව ද හෙතෙම පැවසීය.

රටේ ජීවන වියදම ඉහළ යන විට ඇති වන ගැටලුවලට විසඳුම ජනතාවගේ ආදායම ඉහළ නැංවීම බව ද ඇමතිවරයා පැවසීය.

කාන්තාවන් සහ තරුණයන්ගේ යහපත සඳහා ප්‍රඥාප්ති දෙකක් සකසන බවත් රණවිරුවන් කිසි දිනක පාරවල් පිරිසිදු කිරීමට යොදවන්නේ නැති බවත් ඔහු පැවසීය.

තමා සිදුකරන ආගමික පුනරුදය දැක දෙවරක් බලය ඉසිලූ අය භීතියට පත්ව ඇති බවත් ඔවුන් මේ රටේ එක චෛත්‍යයක් ඉදි නොකළ බවත් තමා බලයට පැමිණ චෛත්‍ය 1125ක් ඉදි කිරීමට කටයුතු කරන බවත් අවධාරණය කළේය. ඔවුන් පළාත් මට්ටමින් ජනාධිපති මන්දිර ඉදි කළ බවත් හෙතෙම පවසයි.

මේ වන විට උදෑසන 4ට අවදී වී රාත්‍රී 12 දක්වා මහජන සේවය කරන තමා ඉදිරියේ දී ඊටත් වඩා කාලයක් ජනතා සේවයට කැප කරන බවත් පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ කතානායක කරූ ජයසූරිය යන දෙදෙනාගේ ආශීර්වාදය ඇතිව රටේ ජනාධිපති ධුරයට පත්වී ජනතාව සමග අත්වැල් බැඳගෙන රට ගොඩගන්නා බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස