රණවිරුවෝ රකිනවා! රටට එරෙහි ගිවිසුම් ප්‍රතික්ෂේප කරනවා! ත්‍රස්තවාදීන් විනාශ කරනවා! ජනතාව වෙනුවෙන් ජීවිතෙත් දෙනවා! – සජිත් ෆ්ලෑෂ්බැක් වේදිකාවේ සිට ප්‍රතිඥා දෙයි..(video/photos)

August 13, 2019 at 8:33 am | by emanisa.lk

තම පියා ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කළා සේම තමන්ද ජනතාව වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීමට වුවද සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස පැවසීය.

බදුල්ල වීල්ස් පාර්ක් පිටියේ ඊයේ (12 දා) සවස පැවැති පිළිගැනීමේ උත්සවය අමතමින් ඇමැතිවරයා මේ බව කීය. මෙම අවස්ථාවට එජාප මැති ඇමතිවරු විශාල පිරිසක් මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලක්ෂ්මන් සෙනෙවිරත්න ද සහභාගී වූහ

දසරාජ ධර්මය කේන්ද්‍ර කරගනිමින් රාජ්‍ය පාලනය ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බවත් මනුෂ්‍යත්වයට මුල්තැන දෙමින් කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියේය.

ජාතික ආරක්ෂාව යනු මිලිටරි ආරක්ෂාව පමණක් නොව ආර්ථික ආරක්ෂාව ද බව සඳහන් කළ හෙතෙම රණවිරුවන්ගේ අභිමාණය ආරක්ෂා කරන බව ද සඳහන් කළේය.

තරුණ ජවය මුල් කරගත් නවීන ආර්ථික ක‍්‍රමයක් රට තුළ බිහි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ඒ සඳහා කළ යුතු නව සංවර්ධන වැඩපිළිවෙළක්ද ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමෙන්ම ත‍්‍රස්තවාදයට රටේ ඉඩක් නොමැති බවත් ත්‍රස්තවාදය විනාශ කරන බවත් පැවසූ අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක මාතෘ භූමිය කොටස් කරන්නට ඉඩ නොදෙන බවත් සැබෑ දේශප්‍රේමීන් ඇති කරමින් රට ගොඩනගන්නට කටයුතු කරන බවත් අවධාරණය කළේය.

යම්කිසි ගිවිසුමකින් රටට සෙතක් වන්නේ නම් එම ගිවිසුම අත්සන් කළ යුතු බවත් නමුත් රටට අහිතකර ආරක්‍ෂක, වෙළෙඳ, දේශපාලන ගිවිසුමක් අත්සන් නොකරන බවටද ඔහු පොරොන්දු විය. රට සංවර්ධනය කිරීමට නම් තෘප්තිමත් රාජ්‍ය සේවයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස