ආර්ථික අර්බුදය කො⁣රෝනා නිසා නෙමෙයි රාජපක්ෂලා නිසායි! ඒ නිසා රාජ්‍ය සේවක වැටුප් කපන්න අයිතියක් නෑ! – පාඨලී

May 11, 2020 at 5:16 pm | by emanisa.lk

රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට වගකිව යුතු රාජපක්‍ෂවරුන්ට හා ආචාර්ය පී.බී ජයසුන්දරට රජයේ සේවකයින්ගේ පඩි කපා දැමීමට කිසිම අයිතියක් හෝ සදාචාරයක් නැතැයි එක්සත් ජාතික පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ජයසුන්දරලා විසින් රාජපක්ෂලා වෙනුවෙන් තැනූ ආර්ථික ටයිටැනික් නැව, මූල්‍ය අර්බුදය නම් පවුරේ වැදී ගිලෙමින් තිබියදී රාජපක්ෂ පවුලේ අය ලොස් ඇන්ජලීස් බලා යන ප‍්‍රිජට් යුද නැවකට ගොඩවී, වැඩකරන ජනයාට හම්බන් ඔරුවලට නගින්නැයි කීම විහිළුවක් බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

පාඨලී චම්පික රණවක මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දරට මහ බැංකුවේ විධායක නිලධාරියෙකු ලෙස ලැබෙන විශ‍්‍රාම වැටුප, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස ලැබෙන විශ‍්‍රාම වැටුප හා ජනාධිපති ලේකම් ලෙස ලැබෙන වැටුප ඇතුළුව වැටුප් තුනක් තිබුණත් සෑම රාජ්‍ය සේවකයකුම වැටුප් තුනක් ලැබීමට වාසනාවන්ත නැතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.

රටේ පවතින මූල්‍ය අර්බුදයට හා ආර්ථික අර්බුදයට වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වූ වහාම සදාචාර නොවන ක‍්‍රම මගින් ධනය උපයන ව්‍යාපාරිකයන්ට, ඇති හැකි අයට දුන් බදු සහන, අන්තර්ජාතික වෙළඳාම හරහා ලැබෙන බදු ආදායම් අහිමි වීම ආදිය ද හේතු වී ඇතැයි කී පාඨලී චම්පික රණවක ආර්ථික අවපාතයක් තිබියදීත් රාජපක්ෂ රජය සිය පැරණි දුර්වල ආර්ථික ප‍්‍රතිපත්ති හා ආර්ථික මංකොල්ලය ඉදිරියට ගෙනයමින් සිටින බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස