අපි එජාප බලය ඇල්ලුවා! නායකයා සජිත්! – සජිත් පිල….. පක්ෂ නායකත්වයේ කිසිම වෙනසක් නෑ! – රනිල් පිල….. රනිල්-සජිත් දෙදෙනාම එජාප නායක පුටුවේ….

January 17, 2020 at 9:01 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මහතා බහුතර ඡන්දයෙන් පත් කර ගත් බව සජිත් පිල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඊයේ (16) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති තීරණාත්මක එජාප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කරද්දී රැස්වීමෙන් අනතුරුව සිරිකොතින් පිටතට පැමිණි එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළේ බහුතරයක් මන්ත්‍රීවරුන් කුමන මතයක් ප්‍රකාශ කළද නායකත්වය පිළිබඳ අවසන් තීරණයකින් තොරව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වූ බවයි. එසේම ලබන සතියේ සඳුදා හෝ අඟහරුවාදා රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන එජාප නායකයන් තිදෙනා පෞද්ගලිකව රැස්වී පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවද මහලේකම්වරයා සඳහන් කළේය.

එජාප නායකත්වය වෙනස් කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ඊයේ පක්ෂ මූලස්ථානයේදී එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබූ අතර මන්ත්‍රීවරු 65 දෙනකුගේ සහභාගිත්වයෙන් සවස 5ට පමණ රැස්වීම ආරම්භ විය. රාත්‍රී 9 පමණ වන තුරු පැය 4කට ආසන්න කාලයක් දීර්ඝ ලෙස ඇදී ගිය මෙම රැස්වීම අතරතුර රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනකු සිරිකොතින් පිටව ගියහ. ඒ අතර පාලිත රංගේ බණ්ඩාර, නවීන් දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් වූහ.

රාත්‍රී 9ට පමණ රැස්වීම අවසන් වීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් පක්ෂ මූලස්ථානයෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් පළ කළහ. එම කණ්ඩායම වෙනුවෙන් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළේ රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරුන් 65 දෙනාගෙන් පනස් දෙදෙනකුම එහිදී සිදු කළ ඡන්ද විමසීමකදී සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පක්ෂයේ නායකයා වශයෙන් තෝරා පත් කර ගැනීමට එකඟතාව පළ කළ බවයි. ඒ අනුව මින් ඉදිරියට සජිත් ප්‍රේමදාස එජාප නායකයා වශයෙන් සලකමින් නව සන්ධානයක් බිහි කොට එම සන්ධානය ඔස්සේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් වන බවද මද්දුම බණ්ඩාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍ර්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කළේ පාර්ලිමේන්තු කණ්ඩායම් විසින් නොනිල වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ බලය අත්පත් කර ගත් බව ප්‍රකාශ කිරීම නිවැරදි බවයි. වෙනත් නායකත්වයන් තවදුරටත් නොසලකමින් ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක් යටතේ නිර්මාණය කිරීම සඳහා අද දිනයේදී (17) මෙතෙක් එජාපය සමග සන්ධාන ගතව සිටි අනෙකුත් පක්ෂ නායකයන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වන බවද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස