යුද්ධය අවසන් කරන්න වලංගු වූ පුරවැසිභාවය අද බොරුවක් වෙන්නේ කොහොමද? (video)

October 1, 2019 at 8:52 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව යටතේ රජයේ ඉතාම වැදගත් තනතුරු සඳහා විදේශිකයන් බඳවා ගත්තා ද 2005 ආරක්ෂක ලේකම් ධුරය ලබා ගැනීමට පෙර තමා මෙරට පුරවැසිභාවය සඳහා අයඳුම් කළ බවත් ඒ සමගම ද්විත්ව පුරවැසිභාවය තමා වෙත ලැබුණු බවත් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

දේශවිමුක්ති ජනතා පක්ෂයේ මහ සමුළුවට එකතු වෙමින් හෙතෙම මේ අදහස් දැක්වූයේ සිය පුරවැසිභාවය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් දෙදෙනෙකු අධිකරණයට යාම සමග මතුව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දක්වමිණි.

මේ රටේ ත්‍රස්තවාදය අවසන් කරන්න වැදගත් වුණු මගේ පුරවැසිභාවය අද බොරුවක් වුණේ කොහොමද? – ගෝඨා

මේ රටින් ත්‍රස්තවාදය අවසන් කිරීමට එදා වැදගත් වූ එම සහතිකය අවුරුදු 15කට පසු බොරු සහතිකයක් වූයේ කෙසේ දැයි තමාට අවබෝධ කරගත නොහැකි බව හෙතෙම සඳහන් කරයි.

තමා සියලු සුදුසුකම් සපුරා තිබෙන අතර තම සහෝදරයා ජනාධිපති ධුරයේ කටයුතු කරන අවස්ථාවක ව්‍යාජ පුරවැසි සහතිකයක් තමා ලබා ගන්නේ කුමටදැයි ඔහු ප්‍රශ්න කරයි.

මේ වසරේ අප්‍රේල් මාසයේ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බවත් සිය පුරවැසියකුට වෙනත් රටක පුරවැසිභාවය ඇති බව තහවුරු නොකළහොත් ඇමරිකාව ඔහුගේ පුරවැසිභාවය අහෝසි නොකරන බවත් ඔහු අවධාරණය කළේය.

එසේ පුරවැසිභාවය නොකරන්නේ එවිට ඔහු රටක් නොමැති පුද්ගලයකු බවට පත්වන නිසා බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

අනතුරුව මේ රටේ විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට තමා නිත්‍යානුකූල ලෙස කටයුතු කළ බවත් ඒවා ලබා ගත්තේ වර්තමාන ආණ්ඩුව යටතේ බවත් ඔහු සිහිපත් කළේය.

එවැනි පසුබිමක මේ රටේ ජනමතයට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මුහුණදිය නොහැකිව බියට පත්ව ඇති කණ්ඩායමක් වෙනත් උපක්‍රම මාර්ගයෙන් ඉන් පළා යාමට උත්සාහයක් දරන බවත් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය.

තමා මේ රටේ අධිකරණය පිළිබඳ විශ්වාසය තබන බවත් එමගින් නියම තීන්දුවක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අවස්ථාවට එක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ තම පක්ෂය ජනාධිපති අපේක්ෂකයා නම් කළේ නීති විශාරදයන් විද්වතුන් නීතිඥයන් පිරිසක් එකතු වී සියලු කරුණු ඉතාම ගැඹුරින් සලකා බලා බවත් එය ආවාට ගියාට කළ දෙයක් නොවන බවය. අධිකරණ වෙත ගොස් මෙවැනි සිරකිරීම් තමා බලාපොරොත්තු වූ බවත් හෙතෙම සඳහන් කළේය. ජනතාවට සේවය කළේ නම් බිය නැතිව ජනතාව ඉදිරියට පැමිණ ඔවුන්ගේ මතය විමසිය හැකි වුවත් මෙවර තමා අන්ත පරාජයකට පත් වන බව ආණ්ඩුව දන්නා බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

දේශවිමුක්ති ජනතා පක්ෂයේ ජාතික මහා සමුළුව ඊයේ (30) කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස