සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව අපි හැමෝටම ජාතිකත්වයක් රටට ආදරයක් තිබිය යුතුයි! (video)

March 3, 2019 at 3:22 pm | by admin

අප කිසි විටක ජාතිවාදීන් නොවන බවත් සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව අප තුළ ජාතිකත්වයක් රටට ආදරයක් තිබිය යුුතු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි. මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ ඊයේ (03) පැවති එළිය සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

මහින්ද රාජපක්‍ෂ රජය වසර තිහකට ආසන්න කාලයක් තිස්සේ මේ රටේ පැවති කුරිරු ත‍්‍රස්තවාදය පරාජය කළා. දිගින් දිගටම පැවති ත‍්‍රස්තවාදය අවසාන කිරීම නිසා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ජීවත් වූ සහෝදර මුස්ලිම් ජනතාවට විශාල සෙතක් වුණා. එදා රජය ගෙනගියේ කිසිම ජනවර්ගයකට විරුද්ධ සටනක් නෙමෙයි. ඒ සටන ගෙන ගියේ සියලුම ජනකොටස්වලට ප‍්‍රශ්නයක් වී තිබූ ත‍්‍රස්තවාදය අවසන් කිරීමටයි.

ඇතැමුන් මහින්ද රාජපක්‍ෂ රජය සහ මම මුස්ලිම් ජනතාවට විරුද්ධ කොටසක් හැටියට එදා පෙන්වා දුන්නා. නමුත් විශේෂයෙන්ම එම කාලය තුළ අපි ක‍්‍රියා කළේ මේ රටේ ජීවත් වන සියලුම ජනකොටස්වලට යහපතක් වන ආකාරයටයි. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට ජනාධිපතිවරයා මට උපදෙස් දුන්නා කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී ජනතාවට හොඳ පරිසරයක් සහිතව නිවාස ලබාදීමට කටයුතු කරන ලෙසට. එහෙම කරන විට ඒවායෙහි සිටි ජනතාවටම නව නිවාස ලබා දුන්නා. බහුතරයක් මුස්ලිම් ජනතාව හිටියා. තවත් තැන්වල දෙමළ ජනතාව හිටියා. මේ නිවාස බෙදාදීමේදී කිසිම වෙනසක් කළේ නැහැ. අවශ්‍යතාව අනුව නිවාස බෙදාදුන්නා.

අපි දන්නවා අපගේ විරුද්ධවාදීන් කුමන වැඩක් කළත් වැරදි මත ජනතාව අතරට ගෙන යනවා. තට්ටු නිවාස ක‍්‍රමය ආරම්භ කිරීමේදී මුස්ලිම් දේශපාලනඥයන් විවිධ මත ජනතාව අතර ගෙන ගියා. සමහර ජනතාව මේවා විශ්වාස කළා. ඒ අනුව තමයි මට විරුද්ධව මුස්ලිම් ප‍්‍රජාව අතර විෂබීජ පැතිර ගියේ. දැන් කවුරුත් දන්නවා සත්‍යය තත්ත්වය. දෙමළ, මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්න ගැන දිගින් දිගටම කතා වෙනවා. ඔවුන් මේ ප‍්‍රශ්න ඡන්දය ලබා ගැනීමට පමණක් භාවිත කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම් වුවත් මේ ප‍්‍රශ්න කාටත් තිබෙනවා.

අපේ රටවැසියන්ට ජීවත් වීමට ආදායමක් තිබිය යුතුයි. දරුවන්ට ඉගෙන ගැනීමට පාසලක්, රැකියාවක් තිබිය යුතුයි. ඒ ප‍්‍රශ්නවලට ජාති ආගම් බේදයක් නැහැ. නමුත් අපේ නායකයන් දෙමළ ජනතාවට පෙන්වා දෙන්නේ මේ ප‍්‍රශ්නය ඇති වෙලා තිබෙන්නේ සිංහල අය නිසා කියලා. ඇත්ත වශයෙන්ම ප‍්‍රශ්න සමස්ත රටවැසියට පොදු වෙනවා. මේ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි. එදා මහින්ද රාජපක්‍ෂ රජය මේ ප‍්‍රශ්න හඳුනාගෙන තිබුණා. දකුණට වගේම උතුරු නගෙනහිරටත් සංවර්ධනය ගෙන ගියා. සෑම කෙනෙක්ටම ජීවත් වීමේ නිදහස ලබා දිය යුතුයි. ඔවුන් බලගැන්වුවහොත් පමණයි ප‍්‍රශ්න විසඳිය හැක්කේ.

මුදල් තිබුණොත් හොඳින් ජීවත් වීමට හැකියාව තිබෙනවා. ප‍්‍රශ්නය දුප්පත්කමයි. දුප්පත්කම නැති කළ යුතුයි. අපට නිසි ජාතික ප‍්‍රතිපත්තියක් තිබුණොත් රට ඉදිරියට ගෙන යෑමට පුළුවන්. නිවැරදි ආර්ථික පිළිවෙතක් අනුව මේ රට ගෙන ගියහොත් අපේ සෑම ජනකොටසකටම ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති කිරීමට හැකියාව ලැබෙනවා. සුළු සුළු ප‍්‍රශ්න ඇති වුණත් අපට අපේ ආගම අදහන්න පුළුවන්කම ලැබුණා. ආගම නිසියාකාරව අදහන්න බැරි වුණා නම් ඒ දුප්පත්කම නිසයි. හොඳට ඉගෙන ගත්තොත් ගෞරවණීය ලෙස මේ රටේ ජීවත් වෙන්න පුළුවන්.

ඉදිරි රජයක් තුළදී සෑම පුරවැසියකුටම ගෞරවණීය ලෙස ජීවත් වීමට හැකි වාතාවරණයක් සකස් කරනවා. ඕනෑම කෙනෙකුටම තමන්ගේ ආගම අදහන්නට මෙතෙක් කල් තිබුණාටත් වඩා නිදහසක් අපි ඇති කරනවා. රටේ බියක් නැති, නීතිය හා සාමය සහිත රටක් බිහි කරනවා. සුළු ජාතීන් කියා හඳුන්වන කොටස් ඒ අය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ රට තුළ නීතිය හා සාමය සහිත පරිසරයක්.

අද රටේ විනයක් නැහැ. එදා අපි විනයක් ගෙනෙන විට, සාමය ගෙනෙන විට, පාතාලය තුරන් කරන විට අපිට විවිධ චෝදනා එල්ල කළා. එදා විපක්‍ෂය අපට එරෙහිව සුදු වෑන් සංස්කෘතියක් සමාජය තුළ පැතිරවීමට කටයුතු කළා. නමුත් ඇත්තටම එකම සුදු වෑන් එකක්වත් මට නැහැ. සුදු වෑන් සංස්කෘතිය මේ රටට හඳුන්වා දුන්නේ කවුද, 88, 89 කාලයේ අපරාධ කළේ කවුද කියා කවුරුත් දන්නවා. මහින්ද රාජපක්‍ෂ රජය කාගෙන්වත් පළිගත්තේ නැහැ. නිර්දෝෂී පුද්ගලයන්ට නීතිය ක‍්‍රියාත්මක කළේ නැහැ. එදා අපේ බුද්ධි ජාලය ශක්තිමත්ව පවත්වාගෙන ගියා. ත‍්‍රස්තවාදය පරාජය කරන්නට සියලුම අංශ ශක්තිමත් කළා.

අපේ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් විශාල පිරිසක් හිටියා මුස්ලිම් ජාතික අය. ඒ නිලධාරීන් කළ සේවය නිසා තමයි ත‍්‍රස්තවාදය අවසාන කරන්නට හැකියාව ලැබුණේ. මේ නිලධාරීන්ට විරුද්ධව තමයි මේ රජය ක‍්‍රියාත්මක වෙලා තිබෙන්නේ. ඔවුන් රාජකාරිය කැපවීමෙන් කළේ පෞද්ගලික වුවමනාවකට නෙමෙයි. ඒ කැපවීම කළේ රට වෙනුවෙන්.

මම යම්කිසි දෙයකට නායකත්වය දුන්නා නම් ඒ කළේ පෞද්ගලික න්‍යාය පත‍්‍රයකට අනුව නෙමෙයි. රට වෙනුවෙන් තිබූ වගකීමයි ඉටු කළේ. ඒ වගකීම නිසි පරිදි ඉටුු කළ නිසා සියලුම ජාතීන්ට ඉන් යහපතක් වුණා. විරුද්ධවාදීන්, විදේශීය බලවේගවල විසින් ගෙන ගිය අසත්‍ය ප‍්‍රචාර හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී යම් කොටස් මුලාවුණා. ඒ අය බැලුවේ මහින්ද රාජපක්‍ෂ රජය පරාජය කිරීමටයි. මේ නිසා ඔවුන් සාර්ථක ලෙස සිංහල, දෙමළ, මුස්ලිම් ජාතීන් මුලා කළා.

අලුත්ගම සිද්ධිය ක්‍ෂණිකව පාලනය කළා. මේ රජය දිගන සිද්ධිය පාලනය කළේ කොහොමද කියා කවුරුත් දන්නවා. බොරු ප‍්‍රචාර ගෙන ගිහින් මුස්ලිම් ජනතාව මුලා කළා. අද සමස්ත මුස්ලිම් ප‍්‍රජාව දන්නවා සත්‍යය තත්ත්වය කුමක්ද කියලා. අපේ රජයක් යටතේ සියලුම ජාතීන්ට එකහා සමානව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරනවා.

අපි ජාතීවාදීන් නෙමෙයි. අපි සියලුම දෙනාම රට වෙනුවෙන් ජාතිකත්වයක්, ආදරයක් තිබිය යුතුයි. ඒ සඳහා සිංහල ද, දෙමළ ද, මුස්ලිම්ද කියා වෙනසක් නැහැ. අපි රට හරි මඟකට යොමු කළොත් පමණයි ඉදිරි පරපුරට සතුටින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ හැකි වන්නේ. ඒ සඳහා එකතු වන ලෙසට රටට ආදරය කරන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

චමින්ද කරුණාරත්න
Media Coordinator
GR Media Unit

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස