කාන්තාවගේ ගෞරවය සුරකින සදාචාරසම්පන්න සමාජයක් ගොඩනඟනවා!- පොදුජන පෙරමුණු කාන්තා සමුළුවේ දී ගෝඨා කියයි….

August 31, 2019 at 3:19 pm | by emanisa.lk

කාන්තාවගේ ගෞරවය සුරකින, විනය ගරුක, ගුණ ගරුක, සදාචාරසම්පන්න සමාජයක් ගොඩනඟන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා පෙරමුණේ සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවැත්වු දේශනය පහත දැක්වෙයි.

ශ්‍රී ලංකා ජනරජයේ පස්වෙනි විධායක ජනාධිපති, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගෙන් අවසරයි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු සියලූම මහජන නියෝජිතවරුණි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා සමුළුවේ සභාපතිය ඇතුලු මේ සමුලුවට සහාභාගී වී සිටින සියලූම පක්ෂ සාමාජික සාමාජිකාවනි, සමුළුවේ සම්පත් දායකයනි, ආරාධිත අමුත්තනි, මාධ්‍යවේදීනි, මෙරට හා පිටරට සිට අද මේ සමුළුවට සජීවීව සම්බන්ධවන සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයනි, හිතවතුනි.

2015 දී මේ රටේ පාලන තන්ත්‍රයේ වෙනසක් සමඟ රටේ දේශපාලනයේත් විශාල වෙනසක් සිදුවුණා. නිදහසින් පසු පැවති රජයට විකල්පයක් ලෙස බිහිවී රටේ ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කළ ප්‍රධාන බලවේගය ලෙස වාර ගණනාවක් ආණ්ඩු පවා පිහිටුවා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අප කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයකට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක හවුල් පාර්ශවයක් බවට පත්වුණා.

පක්ෂයේ නායකයන් කිහිපදෙනෙකු විසින් ගත් මේ තීරණය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා නියෝජනය කළ මතවාදය වෙනුවෙන් ඡන්දය භාවිත කළ 58 ලක්ෂයක් ඡන්දදායකයන් දේශපාලන වශ‍යෙන් අතරමං කරන තීන්දුවක් වුණා.

2015 අගෝස්තු මැතිවරණයෙන් පසු රටට ආදරය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂ නමින් වෙනම කණ්ඩායමක් ලෙස එකට කටයුතු කරන්නට තීරණය කළත් එම කණ්ඩායමට පාර්ලිමේන්තුව තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීන්දු තීරණවලට එරෙහි වීමට බලයක් තිබුණේ නැහැ.

මෙන්න මෙවැනි තත්ත්වයක් තුළ තමයි අතරමං වී සිටි ජනතාව වෙනුවෙන් අලුතින් පක්ෂයක් ආරම්භ කිරීමේ භාර දූර කටයුත්ත ආරම්භ වන්නේ.

පාර්ලිමේන්තුව තුළ පැහැදිලි බලයක් තිබුණා ආණ්ඩුවක් විසින් ඉතා දරුණු ලෙස විපක්ෂ මතධාරීන් මර්දනය කරමින් තිබුණ යුගයක, ආණ්ඩුවට එරෙහිව අලුතින්ම පක්ෂයක් ගොඩ නැංවීම ඉතා අසීරු කාර්යයක්.

අලුතින්ම බිහිවු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පසුගිය වසරේ පෙබරවාරි 10 වෙනිදා පැවැත්වූ මැතිවරණයට ඉදිරිපත්වු පැරණි පක්ෂ පරාජයට පත්කරමින් ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ විශිෂ්ඨ වාර්ථාවක් තැබීම එම උත්සාහය මල්පල ගැන්වුණ අවස්ථාව ලෙස මම දකිනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවා ඉතා කෙටි කලක් තුළ රටේ ප්‍රාදේශීය සභාවලින් 80% පමණ බලය පිහිටුවා එය ලංකාවේ ප්‍රබලතම පක්ෂය බවට පත් කිරීමට දිවා රෑ වෙහෙසී කටයුතු කළ පක්ෂයේ ජාතික සංවිධයක බැසිල් රාජපක්ෂ මහතාගේ නොපසුබසිනා ධෛර්ය හා කැපවීම අද පැවත්වෙන මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා සමුළුවේදී මම විශේෂයෙන් මතක් කරන්නට කැමතියි

දැන් අපි සියලු දෙනාම එක්ව තවත් මැතිවරණයකට සූදානම් විය යුතුයි. ඒ ජනාධිපතිවරණයයි.

රට පුරා ඉතා සංවිධානාත්මක ව්‍යාප්ත වී ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ සංවිධාන රාශිය අතර ඉතා ප්‍රබල කණ්ඩායමක් තමයි ඔබ නියොජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානය.

පසුගිය කාලයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා සංවිධානය විසින් ආසන බල මන්ඩල පිහිටුවමින්, ගම් මට්ටමේ ගෙයින් ගෙට ප්‍රචාරක කටයුතු කරමින්, රට පුරා විවිධ සම්මන්ත්‍රණ පවත්වමින් ඉතා සාර්ථකව දේශපාලන සංවිධාන කටයුතු කළ ආකාරය ගැන මට අවබෝධයක් තිබෙනවා.

පක්ෂයේ සාර්ථකත්වයට හා ඉදිරි ගමනට ක්‍රියාකාරී සහභාගීත්වයක් දක්වන ඔබ සියලු දෙනා හමුවේ අදහස් ප්‍රකාශ කරමින් රටේ අනාගතය ගැන මගේ දැක්ම පැහැදිලි කිරීමට අවස්ථාවක් ලැබීම අද මට විශාල සතුටක්.

වසර දෙදහස් පන්සීයයකටත් වඩා දීර්ඝ ඉතිහාසයක් තිබෙන අපේ ජන සමාජය තුළ කාන්තාවට හැමදාමත් හිමිවුනේ වැදගත් ස්ථානයක්. අපි හැමදාමත් කාන්තාවට ගෞරව‍යෙන් සැලකූ ඔවුන්ට නිසි තැන ලබා දුන් ජාතියක්.

ශ්‍රී මහා බෝ සමිදුන් ලංකාවට වැඩම කරවාගෙන ආවේ සංඝමිත්තා මහා තෙරණියයි. ලංකාවට ශ්‍රී දළදා හිමියන් වැඩමකරවන්නට උපකාරී වූයේ හේමමාලා කුමරියයි.

ලෝකයේ පලවන කාන්තා අගමැතිනිය බිහිවුනේත් ලංකාවෙන්. ඒ සිරිමාවෝ බන්ඩාරණායක මැතිනියයි.

ලෝකයේ දියුණු යැයි සම්මත රටවලට වඩා බොහෝ පෙර කලක සිට කාන්තාවට අපේ සමාජය තුළ නිසි තැන ලැබී තිබුණ බවට ඒ සාක්ෂි කිහිපයක් පමණයි.

අනාගත රජයක් තුළ අපේ අරමුණ ඵලදායී පුරවැසියෙක්, සතුටින් ජීවත් වන පවුලක්, විනය ගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමයි.

දරුවෙක් ඵලදායී පුරවැසියෙක් කිරීමේ අත්පොත තියන්නේ මව විසිනුයි. පවුලක සතුට රඳා පවතින්නේ ගෘහණිය මතයි. සමාජයක් විනය ගරුක වන්නේ නිවසේ සිටම දරුවන්ට නිවැරදි මග පෙන්වීම දුන් විටයි. මේ නිසා අපේ දීර්ඝ කාලීන අරමුණ ඉටුකරගැනීමට කාන්තාවගෙන් දායකත්වය ඉතා වැදගත්.

සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමේ පොදු අපේක්ෂාව ඉටුකර ගැනීමට නම් පුරවැසියන් ලෙස අප සියලු දෙනාම පලදායී දායකත්වයක් ලබා දිය යුතුයි.

මේ නිසා රැකියා වෙළඳපොළ තුළ පමණක් නෙමෙයි පුද්ගලික ව්‍යවසායකයන් වශයෙනුත් කාන්තාවන්ගේ දායකත්වය අපේ ආර්ථිකයට වැදගත්.

වෙනත් කලාපීය රටවලට සාපේක්ෂව අපට ඉන්නේ උගත් කාන්තා පරපුරක්.

අද විශ්ව විද්‍යාලවල ඉගනුම ලබන කාන්තා ප්‍රතිශතය 50% ඉක්මවනවා.

උගත් මවක් ජාතියට සම්පතක්. අනාගත අභියෝගයන්ට මුහුනදී මට දරුවන් සූදානම් කිරීමේදී ඇයගේ උගත්කම පහසුවක් වෙනවා

රැකියා ස්ථානය තුල කාන්තාවන්ට පිරිමින් හා තරඟ කිරීමේදී බොහෝ විට ගැටලුවක් වන්නේ විවාහ වී දරුවන් ලැබූ පසු මවක් වශයෙන් රැකියාවත් දරුවන්ගේ වගකීමුත් එකවර හසුරවා ගැනීමට ඇති අපහසුතායි.

මේ ප්‍රායෝගික ගැටලුව ගැන රජයක් හැම විටම සංවේදී විය යුතුයි.

කුඩා දරුවන් ඇති කාන්තාවන් රැකියාව කරනා කාලය තුල ඔවුන්ගේ දරුවන් රැක බලාගැනීමේ පහසුකම් අපි රටපුරා ප්‍රචලිත කළ යුතු අතර එවැනි සායන යම් කිසි නියාමනයකට යටත්ව ඉතා ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යාමටද අපි වගබලා ගත යුතුයි.

වැඩෙන දරුවෙකුට මවකගේ සෙනෙහස රැකවරණය අත්‍යාවශ්‍යයි. ඒ නිසා සමහර විට තරුණ මවක් තම දරුවන් රැක බලා ගැනීම සඳහා තාවකාලිකව රැකියාවෙන් ඉවත්වීම අපි වරදක් ලෙස නොදැකිය යුතුයි.

නමුත් තරුණ වියේ පසුවන මේ කාන්තාවට තම පවුලේ මූලික වගකීම් නිමවා යලි රැකියාවකට යාමට හෝ යම් ව්‍යාපාරයක නිරත වීමට අවස්ථාව තිබිය යුතුයි.

අප බලාපොරොත්තු වන ආකාරයට ආර්ථිකය සංවර්ධනය කළ විට රැකියා වෙළඳපොළ පුලුල් වන නිසා කාන්තාවන්ට නැවත රැකියා වෙළඳපොළට පැමිණීමට ඇති ඉඩ ප්‍රස්ථා වැඩි වෙනවා.

රැකියාවකට යනවා වෙනුවට ගෘහස්ථ ව්‍යවසායන් හරහා ආදායම් ඉපයීමට ග්‍රාමීය කාන්තාවන්ට ඇති අවශ්‍යතාව හා කැමැත්ත පසුගිය කාලයේ රටපුරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළ ගම සමඟ පිළිසඳරක් වැනි අධ්‍යයන වැඩසටහන්වලදී නිරන්තරයෙන්ම පෙනී ගිය කරුණක්.

ඒ අනුව විවිධ ව්‍යවසායන්ට යොමු වීමට කැමති කාන්තාවන්ට මුලික ප්‍රාග්ධනය හා කාරක ප්‍රාග්ධනය සඳහා අඩුපොලී ණය පහසුකම් සලසා දීම, අවශ්‍ය කරන ව්‍යාපාරික පුහුණුව ලබාදීම හා වෙලඳපොළ සම්බන්ධීකරණයට නිසි උපදෙස් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂමව හා පලදායිව යොදා ගන්නට අපි කටයුතු කරනවා.

අපේ අවධානයට ලක්වී ඇති තවත් වැදගත් කරුණක් තමයි පසුගිය කාලයේ කිසිදු නියාමනයකින් තොරව රට පුරා ප්‍රචලිත වූ විවිධ ක්ෂුද්‍ර ණය සැපයීම් වැඩසටහන් හරහා ග්‍රාමීය පවුල් දහස් ගණනක් පීඩනයකට ලක්වී සිටන ආකාරය. ණය ගෙවා ගන්නට බැරුව මිනිසුන් දිවි නසා ගත් අවස්ථා පවා වාර්ථා වී තිබෙනවා.

අසාධාරණ පොලී අයකරමින් ජනතාවගේ විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන්ගේ නොදැනුවත්කම අපයෝජනයට ලක් කළ ආයතන හා පුද්ගලයන් ගැන සොයාබලා ජනතාවට කඩිනමින් සහන සලසන්නට අපි කටයුතු කරනවා.

වර්තමානයේ අපේ රටට විදේශ විනිමය ගෙනෙන විදේශගත ශ්‍රමිකයන්ගෙන් විශාල පිරිසක් කාන්තාවන්. අපේ ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය මා අගය කරනවා.

බොහෝ විට විදේශගත ශ්‍රමිකයන්ට ඔවුන්ගේ සේවයට නිසි වැටුපක් නොලැබෙන්නේත්, සේවාලාභීන් ඔවුන්ගේ සේවය අගය නොකෙරෙන්නේත් නුපුහුණු සේවකයන් ලෙස අපේ කාන්තාවන් පිටරට යවන නිසායි. ඒ නිසා විදේශ සේවා කාර්යාංශය හරහා පිටරටක රැකියාවලට යන සෑම කාන්තාවකටම තමුන්ගේ සේවාව උසස් ගුණාත්මක තත්ත්වයෙන් ලබා දීම සඳහා ප්‍රමාණවත් පෙර පුහුණුවක් ලබා දීම අපි අනිවාර්ය කල යුතුයි.

ඒ වගේම ලෝකයේ ඉහල ඉල්ලුමක් ඇති, වැඩි වැටුපක් ලබාගත හැකි හෙද සේවා වැනි අංශ සඳහා කාන්තාවන් පුහුණු කිරීමේ ක්‍රමවත් වැඩපිලිවෙළක් අපි ආරම්බ කළ යුතුයි.

විවාහක කාන්තාවකට තම පවුල සම්බන්ධයෙන් වගකීම් රාශියක් තිබෙනවා. පවුලේ ආරක්ෂාව, හිසට වහලක්, දරුවන්ගේ අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැනි සියලු අවශ්‍යතා ගැන පවුලක සැමියාට වඩා බිරිඳ බෙහෙවින් සංවේදීයි.

ඔබේ ඒ අවශ්‍යතාවන් ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා.

එදා ත්‍රස්තවාදය සහමුලින්ම මේ රටින් තුරන් කොට ජනතාවට ආරක්ෂාව සැපයූවා සේම, අනාගතයේ පත්වන නව රජයක් යටතේ ඔබේත්, ඔබේ දූ දරුවන්ගේත්, පවුලේ සැමගේත් ආරක්ෂාව අපි තහවුරු කරනවා.

මානව සම්පත් සංවර්ධනය අනාගතයේ බිහිවන රජයක මූලික වගකීමක් ලෙස අප දකිනවා. අපේ අරමුණ රටේ සෑම දරුවෙකුටම හොඳ අධ්‍යාපනයක් ලබා දීමයි.

ඒ නිසා රට පුරා විසිරී තිබෙන පාසැල් පද්දතිය නගා සිටවන්නට, විශ්ව විද්‍යාල වලට ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය ඉහළ නංවන්නට, රටේ අනාගත පරපුර පලදායි පුරවැසියන් කරන්නට අවශ්‍ය දැනුමින් ඔවුන් පෝෂණය කරන්නට, ඔවුන්ගේ කුසලතා හා නිපුනතා වර්ධනයට අපි විශේෂ අවධානයක් යොමු කරනවා.

ඒ සඳහා ප්‍රමාණවත් යටිතල පහසුකම් ගොඩනැංවීමට හා අවශ්‍යකරණ ප්‍රතිසංස්කරණ සඳහා විශාල ආයෝජනයක් කරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා.

උසස් අධ්‍යාපනයට හා තාක්ෂණික අධ්‍යාපනයට මෙන්ම වෙනත් නිපුනතා සංවර්ධනයට ඇති අවස්ථා පුළුල් කිරිම තුළින් අලුතින් රැකියා අවස්ථා බිහිකිරීමට මෙන්ම තරුණ පරපුර තුලින් පුද්ගලික ව්‍යවසායකයන් වැඩි වැඩියෙන් බිහිකිරීමට අවශ්‍ය කරණ ආර්ථික වටපිටාව සකස් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

ජනතාවගේ නිවාස අවශ්‍යතා ගැනත් අපි දීර්ඝ වශයෙන් අධ්‍යයනය කර තිබෙනවා

සීඝ්‍රයෙන් වැඩිවෙන ජනගහනයේ ඉල්ලුමත් සංවර්ධනය සදහා ඇති සීමිත භූමියත් දෙකම සැලකිල්ලට ගෙන අඩු හා මධ්‍යම ආදායම් ලබන පවුල් සඳහා සාධාරණ මිලකට සහන ණය පහසුකම් යටතේ ලබාගත හැකි නිවාස යෝජනාක්‍රම අනාගතයේ රටපුරා ගොඩනංවන්නට අපි බලාපොරොත්තු වෙනවා.

මේ සෑම නිවාස ව්‍යාපෘතියක් ආශ්‍රිතවම ක්‍රීඩා පහසුකම්, වෙළඳසැල්, සෞඛ්‍ය පහසුකම් හා හා අධ්‍යාපන පහසුකම් තිබෙන ජීවත් වීමට සුදුසු, ආරක්ෂිත පරිසරයක් අපි ගොඩනගනවා.

නිදහස් සෞඛ්‍ය ගැන අපි කෙතරම් කතා ළලත් අද රටේ සාමාන්‍ය ජනතාවට ප්‍රමාණවත් සෞඛ්‍ය පහසුකම් ලැබෙන්නේ නැහැ.

මේ නිසා වඩා හොද ජනතා සේවයක් සඳහා සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවක් අප දකිනවා.

ස්වර්ණාභරණ පැළඳි කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා තනිව ගමන් කළ හැකි ආරක්ෂිත තත්ත්වයක් ඉතිහාසයේ තුබුණාය කියනා අපේ රටේ අද කාන්තා හිංසනය හා ළමා අපචාර බෙහෙවින් වැඩිවෙලා. පොදු ප්‍රවාහන සේවාවල කන්තාවකට නිදහසේ ගමන් කළ නොහැකි තරමට සදාචාරය පිරිහිලා.

මේ තත්ත්වය අපි කඩිනමින් පාලනය කළ යුතුයි. කාන්තාවගේ ගෞරවය සුරකින, විනය ගරුක, ගුණ ගරුක, සදාචාරසම්පන්න සමාජය අපි යලි ගොඩ නැගිය යුතුයි.

රටේ ආරක්ෂාව තහවුරු කිරීමේදි කාන්තාවන් හා ළමුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුවන අතර කාන්තා හා ළමා අපචාරවලට අදාළ නඩු කඩිනමින් අසා නිම කිරීමට විශේෂ යාන්ත්‍රණයක් අපි සකස් කරනවා.

පසුගිය කාලයේ අපේ රටේ තරුණ පරපුර තුළ මත් ද්‍රව්‍ය භාවිතය විශාල වශයෙන් වැඩි වී තිබෙනවා.

අද ලංකාව අන්තර්ජාතික මත්ද්‍රව්‍ය බෙදාහරිමේ මධ්‍යස්ථානයක් බවට පත්වී තිබෙන්නේ වසර ගණනාවක් තිස්සේ මේ ප්‍රශ්නය විසඳීමට නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග නොගත් නිසායි.

මතුපිටින් පෙනෙන දේට වඩා ගැඹුරින් ප්‍රශ්නයට හේතුව සොයා බලා කඩිනමින් මෙම මත් ද්‍රව්‍ය උවදුර පිටු දකින්නට කටයුතු කරන බවට අපි සහතික වෙනවා. එය ජාතික අවශ්‍යතාවක් ලෙස අපි සලකනවා.

ඉතිහාසය පුරාම ජාතිය අනතුරකට පත්වූ විට ඉන් රට මුදා ගැනීමේ කාර්යයට අපේ කාන්තාවන් සහාය දුන්නා.

වර්තමානයේ පත්ව ඇති උවදුරෙන් රට මුදවා ගෙන යලිත් සෞභාග්‍යය කරා යාමට අදත් අපිට කාන්තාවන්ගේ ශක්තිය අවශ්‍යයි. අද මෙහි රැස්ව සිටින ඔබ සියලු දෙනා එලෙස රට වෙනුවෙන් ඉදිරියට පැමිණි අයයි.

අද මෙහි පැමිණ නොසිටියත් රටේ යහපත ප්‍රාර්ථනා කරන තවත් කාන්තාවන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් රට පුරා විසිරී අපේ ගමනට ශක්තිය දෙනවා.

ඒ අනුව බියසැක නැති රටක් – සංවර්ධිත හෙටක් වෙනුවෙන් අප හා එක්වී සිටින ඔබ සියලු දෙනාටම මම ජය ප්‍රාර්ථනා කරනවා.

බොහොම ස්තූතියි !. තෙරුවන් සරණයි !

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස