ආණ්ඩුව ජනතාව මත පටවා ඇති අධික බදු අඅපේ පාලනයක් යටතේ අඩු කරනවා! සංකීර්ණ බදු ක්‍රමය වෙනුවට සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා! – ගෝඨා

September 27, 2019 at 10:10 am | by emanisa.lk

පොදුජන පෙරමුණු රජයක් යටතේ ජනතාව මත ඇති බදු බර අඩු කරනවා පමණක් නොව පවතින බදු ක‍්‍රමය සරල කරන්නට බලාපොරොත්තු වන බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි.

25 වනදා පෙරවරුවේ කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී පැවැති ව්‍යාපාරික ජාතික සම්මේලනයට එක්වී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම සම්මේලනය සඳහා ව්‍යාපාරිකයින් රැසක් සහභාගී වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මෙසේ ද පැවසීය.

“ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්. ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අනාගතයේ අප පිහිටුවන රජයක මූලික වගකීමක් ලෙස මා දකිනවා. ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර නිදහසේ කරගෙන යාම සඳහා ත‍්‍රස්තවාදය නැති, හොරමැරකම්, කප්පම් ගැනීම් නැති, වංචා දුෂණ නැති පරිසරයක්, සමාජයක් අවශ්‍ය වෙනවා. ඔබට ඔබේ ව්‍යාපාර කරගෙන යාමට අවශ්‍ය කරන ඒ සුරක්ෂිත වටපිටාව සකස් කර දෙන බවට මම සහතික වෙනවා.

අපි දන්නවා පසුගිය වසර කිහිපය තුල මේ රටේ බදු ප‍්‍රතිපත්තිවල විශාල වෙනසක් සිද්ධවුණා. වසර 100 කට වඩා පැරණි ක‍්‍රම ක‍්‍රමයෙන් දියුණු වෙමින් ආ බදු ක‍්‍රමවේදය වෙනුවට වෙනත් රටකට ගැලපෙන ලෙස සකස් කරනා ලද ආගන්තුක බදු පනතක් ජනතාව මත පටවා තිබෙනවා. මේ සංකීර්ණ බදු ක‍්‍රමවේදය නිසා අද ව්‍යාපාරිකයන් මෙන්ම බදු ගෙවන සියලූම පුරවැසියන් අසීරුතාවයට පත් වෙලා තිබෙනවා.

අලුතින් පනවා ඇති සමහරක් බදු ඉතාමත්ම අසාධාරණ බව අපේ හැඟීමයි. ජනතාවගෙන් බදු අයකරලා සැලැස්මක් නැතිව වියදම් කරන එකයි මේ රජය කරන්නේ.

අපේ රජයක් මඟින් ජනතාව මත බදු බර අඩු කරනවා පමණක් නොව පවතින බදු ක‍්‍රමය සරල කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරිකයින් ඇති කරන රැකියා අවස්ථා නිසයි ආර්ථිකය ඉදිරියට යන්නේ. තමන්ගේ ආදායම නැවත ආයෝජනය කරන්න අවස්ථාව නොදී බදු පිට බදු ගැසීම අනුමත කරන්න බැහැ.

වසරින් වසර බදු ප‍්‍රතිපත්ති වෙනස්වීම ගැන බිය නොවී ඔබේ අනාගත ව්‍යාපාර සැලසුම් කරන්නට උදව් වන ස්ථාවර බදු ප‍්‍රතිපත්තියක් ඔබට හඳුන්වා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා.

ව්‍යාපාරිකයා හා බැංකු පද්ධතිය එකිනෙකාට ඉතා සමීපයි. බැංකුවකින් අප බලාපොරොත්තු වන්නේ ව්‍යවසායකයා දිරි ගැන්වීම විනා ඔහුව අධෛර්යමත් කිරීම නොවේ. වර්තමානයේ බැංකු පද්ධතිය මත රජය මගින් පනවා ඇති සීමාවන් අධ්‍යයනය කොට රටේ ආර්ථික සංවර්ධන ක‍්‍රියාවලියට ධනාත්මකව උපකාරී වන ආකාරයට එම දැඩි නීති හා රෙගුලාසි සංශෝධනය කර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.

දක්ෂ අවංක ව්‍යාපාරිකයෙක් රජයෙන් මූලිකව බලාපොරොත්තුවන්නේ පහසුකම් සපයන්නෙකුගේ කාර්යභාරයයි. ඔහු රජයෙන් සහන බලාපොරොත්තු වන්නේ නැහැ.විශේෂ උදව් උපකාර බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් තමුන්ගේ ව්‍යාපාරය නිසියාකාරව කිරීමට අවශ්‍ය පොදු යටිතල පහසුකම් හා අවශ්‍ය අනුමැතීන් කඩිනමින් ලබා දෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වෙනවා.

අද ව්‍යාපාරිකයෙකුට ආයෝජනයකට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීමට ආයතන ගණනාවකට යන්නට සිදුවී තිබෙන්නේ වර්තමානයට ගැලපෙන ආකාරයට රටේ නීති අණපනත් යාවත්කාලීන වෙලා නැති නිසයි. නිලධාරිවාදය, ආයතනික අකාර්යක්ෂමතා මෙන්ම අල්ලස් හා දූෂණත් මේ ප‍්‍රමාදයන්ට බලපානා බව අපි හඳුනාගෙන තිබෙනවා.

මේ තත්ත්වය වෙනස් කිරීමට සඳහා නීති හා රෙගුලාසි ප‍්‍රතිසංස්කරනය මෙන්ම ඊ තාක්ෂණය භාවිතයෙන් අන්තර්ජාලය හරහා කඩිනමින් අනුමැතීන් ලබා දීමේ පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් අපි හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි මේ දේවල් කියනවා වගේම කරලත් පෙන්වූ පිරිසක්.

ඔබයි අපේ ජීවය. මේ රට නැවතත් ගොඩ නගන්න අප සමඟ එක්වන්නැයි ඉල්ලනවා. ඔබේ ව්‍යපාර ඉදිරියට කරගෙන යා හැකි රජයක් බිහිකරන බවට සහතික වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස