ජාතික ගීය දෙමළ බසින් ගැයීම ෆෙඩරල් රාජ්‍යයක වෙඩි මුරයයි!

February 1, 2020 at 9:13 am | by emanisa.lk

මෙවර නිදහස් උළෙලේ දී ජාතික ගීය දෙමළෙන් ගායනා කළො​ත් එය ෆෙඩරල් රාජ්‍ය පිළිලයේ වෙඩි මුරය වනු නොඅනුමාන බව හෑගොඩ විපස්සි හිමියෝ ප්‍රකාශ කරති.

ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ ධුරය හොබවන හෑගොඩ විපස්සි හිමියෝ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පෙන්වා දෙයි.

ලෝකයේ කිසිදු ඒකීය රාජ්‍යයක ජාතික ගීය භාෂා කිහිපයකින් ගායනා නොකරයි. එහෙත් ඇතැම් ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍යයන් හි ජාතික ගී කිහිපයක් දක්නට ලැබේ. ඊට හේතුව වන්නේ සන්ධීය හෙවත් ෆෙඩරල් රාජ්‍යයක පරමාධිකාරය එකම ආණ්ඩුවක් සතු නොවන බැවින් සන්ධීය ආණ්ඩුව හා ප්‍රාදේශීය ආණ්ඩුව රුචිකත්වය අනුව වැඩ කිරීමට හැකි වීමයි. එහෙත් අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජාතියක් වන බැවින් ජාතික ගීය සිංහල භාෂාවෙන් මිස දෙමළ හෝ වෙනත් භාෂාවකින් ගායනා කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙයි.

මෙවර නිදහස් දින උත්සවයේ දී ජාතික ගීය දෙමළෙනුත් ගායනා කළහොත් එය ෆෙඩරල් හෙවත් සන්ධීය රාජ්‍ය පිළිලයේ වෙඩි මුරයක් වනු නොඅනුමානය.

විවිධ භාෂා කතා කරන, විවිධ ආගම් අදහන විවිධ ජාතීන් වාසය කරන රටක ඒකීයත්වය ඇති කිරීමේ ආධ්‍යාත්මක රීතීන් වශයෙන් ජාතික සංකේත සම්මතව පවතියි. එම නිසා සියලු ජනවර්ගයන්ගේ ලාංකේය පදනම ඇති කිරීමෙහි ලා ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරීම ව්‍යවස්ථාපිතයි. මෙයින් අන්‍ය භාෂකයන් නොසලකා හැරීමක් කිසිසේත්ම සිදුනොවේ. අපේ රටේ සෑම පුද්ගලයෙක්ම සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කරන විට, ඊට ගෞරව කරන විට ඔවුන්ගේ සිත් සතන්හි ඇති වන්නේ අපේ රට යන පොදු හැඟීම්ය. එහෙත් භාෂා කීපයකින් ගායනා කිරීමේ දී ඒ හැඟීම් ඇති නොවේ. එම නිසා ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ගීය වන්නේය. යන ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන වගන්තිය තවදුරටත් තහවුරු කළ යුතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස