අප පිටරටවලින් ගෙන්වන්නේ කිරිපිටි නොවේ! ඩොලර් මිලියන 400ක් දීලා බොන්නේ විෂ පිරි රසායනිකයක්..!

February 19, 2019 at 8:42 am | by admin

රජයේ පාර්ශව විවිධ පැතිවලට බෙදී පාරිභෝගික ජනතාව උභතෝකෝටිකයක අතරමං කරමින් සිදුකරන භයානක ක්‍රියාව පිළිබඳ රෝගීන් සුරැකීමේ ජාතික සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

කිරිපිටි පිළිබඳ සත්‍ය හෙළි කිරීම රජයේ වගකීමක්

පාරිභෝගික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ලංකාවේ පරිභෝජනය කරනු ලබන කිරි පිටි (Milk powder) පිළිබඳව සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සමඟ ලාංකීය කිරිපිටි වෙළඳපොල මෙන්ම, මෙතෙක් කිරිපිටි පරිභෝජනය කළ ජනතාව ද දැඩි චිත්ත පීඩාවකට මෙන්ම දෙගිඩියාවකට පත් වී ඇත.

මෙම ප්‍රකාශයන්ට ඌණ පූර්ණයක් එක් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ “අප වැනි රටකට කිරිපිටි නොගැළපෙන බවයි. මෙම සියල්ලටම පිළිතුරු දෙමින් සෞඛ්‍ය , පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ‘කිරිපිටි පරිභෝජනය කිසිදු ගැටළුවක් නොවන බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සොයා බැලීම් තුළින් තවදුරටත් සනාථ වී ඇති බවත්ය. මේ අතර පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනුයේ ‘දැනට කිරිපිටි වල අන්තර්ගතය පිළිබඳ පරීක්ෂණ කිරීමට දැනට රජය යටතේ ඇති පර්යේෂණ ආයතන විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත්ය. ඒ අතරම එම සංගමය පවසන්නේ “කිරිපිටි ඇතුළු ආහාර සම්බන්ධ පරීක්ෂණ කටයුතු කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සතුව සම්පත් නොමැති බවත්ය.

දැන් සත්‍ය පවසන්නේ කවුද? බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ද? ජනාධිපතිවරයාද? සෞඛ්‍ය අමාත්‍යවරයා ද? මෙම කරුණ පිළිබඳව රජය සහ කිරිපිටි සමාගම් අතර ද එකඟතාවයක් නොමැති බව දැන් පෙනී යන කරුණකි.

ලංකාවේ වාර්ෂික කිරිපිටි ආනයනය මෙට්‍රික් ටොන් 99,000කි. ඒ වෙනුවෙන් පිටරටට ලංකා ආර්ථිකයෙන් ඇදී යන මුදල ඩොලර් මිලියන 400 කි. දෛනික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 271 ක් පමණ වේ. මේ අතර ලංකාවේ දියර කිරි නිෂ්පාදනය 10% ක් වන අතර 90%ක් ම පිටිකිරි නිෂ්පාදනය සඳහා යෙද වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇත්ත කියනවා ද?

මෙම කිරිපිරි වල ප්‍රමිතිය පිළිබඳව ගැටළුව 2008 වසරේ දී ප්‍රථම වතාවට ලංකාව තුළ පැන නැගුණි. ඒ මෙලමයින් කිරිපිටි තුළ අඩංගුව ඇතැයි පැන නැඟි ගැටළුව මුල් කරගෙනය. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලැබුවේ වෙළඳපොලේ තිබූ කිරිපිටි තොග ඉවත් කර ගැනීමට අදාල සමාගම් වලට නියෝග කිරීමය. කිරිපිටිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සායනික පරීක්ෂාවක් සිදු කරනු ලබන බව පැවසුව ද කිසිදු පරීක්ෂණයක ප්‍රතිඵලයක් ජනතාව හමුවේ නොතැබූ අතර, අවසානයේ ගැටළුව සාමාන්‍යකරණය වී කිරිපිටි වෙළඳ සමාගම් වෙළඳපොල ආක්‍රමණය කරන ලදී. එහෙත් මෙහිදී සුවිශේෂී සිදුවීමක් වුණි. එනම්, මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ කටයුතු කළ පුද්ගලයෙකු පසුකාලීනව කිරි පිටි සමාගමක ඉහළ තනතුරකට පත්වීමයි.

වර්තමානයේ නැවත කිරිපිටිවල අඩංගු සංඝටකයන් පිළිබඳව ගැටළුවක් උද්ගතව ඇත. මෙහිදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ කිරිපිටි පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටළුවක් නොමැති බවය.

එහෙත් ඔහුගේම එම ප්‍රකාශයට සෞඛ්‍ය අමාත්‍යාංශයම එරෙහි වෙමින් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ කිරිපිටි ලෙඩ රෝග 21කට අත වනන බැවින් කිරිපිටි දරුවන්ට සහ රෝගීන්ට දීමේදී සැලකිලිමත් වන ලෙසය. දැන් ජනතාව පත්වී ඇත්තේ උභතෝකෝටික තත්ත්වයකටය. ජනතාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම ප්‍රකාශ වලින් කුමක් කෙරෙහි විශ්වාසය තැබිය යුතුද? කිරිපිටි පිළිබඳ ප්‍රමිතිගත සහතිකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හමුවේ ඇති නම් ජනතාවගේ හිත සුව පිණිස එය මාධ්‍ය මගින් හෝ ජනගත කළ යුතු වේ. එවැනි ප්‍රමිති සහතිකයන් සායනික පරීක්ෂණ වාර්තා සහිතව දිය නොහැකි නම් ජනතාව මේ තාක් කල් පරිභෝජනය කර ඇත්තේ සෞඛ්‍යාරක්ෂිත කිරිපිටි නොවන කිසියම් දෙයක් ද?

ජනාධිපති තුමා සහ බුද්ධික අමාත්‍යවරයාගේ මතය

ජනාධිපතිතුමා පසුගිය දා ප්‍රකාශ කළේ කිරිපිටි මෙරටට නොගැළපෙන බවත් තමන් සෞඛ්‍ය ඇමතිව සිටි කාලය තුළ කිරිපිටි සමාගම් තම කාර්යාලයකට වත් ඇතුළු කර නොගත් බවය. ජනාධිපතිතුමාගේ ප්‍රකාශය සත්‍ය වන්නට පුළුවන. එහෙත් ඔහු හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ද වේ. කිරිපිටි පරිභෝජනයට නොගැළපෙන ආහාරයක් නම් කිරිපිටි ආනයනය සඳහා ප්‍රමිතිගත සැලැස්මක් සකස් නොකළේ ඇයි? අඩුම තරමේ ආනයනය සීමා කිරීමටවත් ක්‍රියා නොකළේ ඇයි?

කෙසේ වුවද, බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කිරිපිටි පිළිබඳව හරවත් සංවාදයක් ගොඩනැංවීම සඳහා ප්‍රවේශයක් ගෙන තිබුණද ඔහු ද ප්‍රකාශ නිකුත් කරන්නේ කිරිපිටි පිළිබඳව කිසිදු පරීක්ෂණ වාර්තාවක් අතැතිව නොවේ. ඔහු සතුව පවා නිවැරදි පරීක්ෂණාගාර වාර්තාවක් නොමැත. එසේ නම් පොදු ජනතාව වන අප කුමක් විශ්වාස කළ යුතුද?

කිරිපිටි සමාගම් සහ ලාංකීය විද්වතුන්

මෙම ගැටළුවට සෘජුව මුහුණ දෙන කිරිපිටි ආනයනය කරනු ලබන සමාගම් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර විද්‍යාගාරය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා පරමාණුක බලශක්ති ආයතනය වැනි ආයතන වල නිගමනයන්ට යටත්ව ආනයනික කිරිපිටි සුරක්ෂිත බවය. මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් පවසන්නේ “කිරිපිටි වල අන්තර්ගතය පිළිබඳව පරීක්ෂා කිරීම දැනට රජය යටතේ පවතින ආයතන ප්‍රතික්ෂේප කරන බවයි”. දැන් සත්‍ය පවසන්නේ කවුරුන්ද ? කිරිපිටි සමාගම් ද? විමර්ශන නිලධාරීන් ද? රජයද? ජනතාව හමුවේ උභතෝකෝටික ගැටළුවකි.

මේ පිළිබඳව ලාංකීය විද්වත් ප්‍රජාව කුමක් ප්‍රකාශ කරන්නේ ද?

ඔවුන් ප්‍රකාශ කරන්නේ සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වල 26%ක මේද ප්‍රතිශතයක් තිබිය යුතු බවයි. එහෙත් ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි වල මේදය ඉහත ප්‍රතිශතයෙන් පැවතුනද එම මේදය ස්වභාවික කිරි මේදය නොවන බවත් ශාක සහ සත්ත්ව මේද කිරිපිටි තුළට නැවත එක්කර ඇති බවත්ය. කිරිපිටි සඳහා වන ප්‍රමිතිය නැවත සැකසීම සඳහා ඩීසීඩී සහ මෙලමයින් වැනි කෘතිම රසායන එක්කර ඇති බව විද්වතුන් පවසති.

ලාංකීය විද්වතුන් මෙම ප්‍රකාශය සිදු කරනුයේ ඔවුන් විසින් බ්‍රිතාන්‍යයේ පර්යේෂණාගාරයකට කිරිපිටි සාම්පල් ලබාදීමෙන් අනතුරුව ලබාගත් තොරතුරු පදනම් කර ගනිමිනි. මෙම කරුණ සත්‍යයක් වන්නේ නම් ලාංකීය ජනතාව මෙතෙක් පරිභෝජනය කරන ලද්දේ කිරිපිටි නොවේ ද?

අප විසින් වාර්ෂිකව ඩොලර් මිලියන 400ක් පිටරටට මුදල් දී මිලදී ගෙන ඇත්තේ කිරිපිටි නොවේ ද? මෙම සියළු කරුණු සත්‍ය වන්නේ නම් ලංකාවේ ආර්ථිකය ඝාතනය කිරීමේ මූලිකයන් වන්නේ කිරිපිටි සමාගම් නොවේ ද? නොදරුවන්ට, ගර්භනී මව්වරුන්ට අපි පිටිකිරි යැයි ලබා දී ඇත්තේ වස විස පිරි රසායනිකයන් ද?

අප මුලින් ප්‍රකාශ කළා සේ දැන් රටෙහි ජනතාව කිරිපිටි පරිභෝජනය කරන්නේ ද නොකරන්නේ ද යන තීරණාත්මක මන්සන්ධියකට පැමිණ ඇත.

රටට ජනතාවට වග කියන රජයක් ලෙස මෙම ගැටළුව සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දී ඉදිරියටත් ජනතාව කිරිපිටි පරිභෝජනය කළ යුතු ද නැති ද යන සෘජු තීරණය ලබා දිය යුතුය. රජය කිරිපිටි අරබයා ඇති වී ඇති උභතෝකෝටික ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා දිය යුතුය. අපද රජය තුළින් ස්ථිරසාර විසඳුමක් බලාපොරොත්තු වෙමු.

ධම්මික එදිරිසිංහ
ලේකම්
රෝගීන් සුරැකීමේ ජාතික සංවිධානය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස