2030 වන විට සියලු ණය ගෙවා අවසන් කරනවා!

February 11, 2019 at 1:01 pm | by admin

සීඝ්‍ර අපනයන ආර්ථිකය ඇතිකිරීමට නම් අපට අපනයන කර්මාන්ත අවශ්‍ය වෙනවා. 2030 වන විට අප මේ සියලු ණය ගෙවා අවසන් කළ යුතුව තිබෙනවා. ණය බර මේ වන විටත් අපි ටිකෙන් ටික අඩුකිරීමට කටයුතු කරමින් සිටිනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කුරුණෑගල වැව් මන්තීරුව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසී ය

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;

අපි ණය බරින් සිටින රටක්. මේ ණය උපරිම ලෙස ලබාගෙන තිබෙනවා. 2013 , 2014 වර්ෂවලදී විශාල වශයෙන් අර්බූදයකට මුහුණු පා සිටියා. එම අර්බූදය විසදීමට හැකියාවක් තිබේ කියා කිසිවෙක් සිතුවේ නැහැ. 2015 වර්ෂයේ අපි රජය භාර ගැනීමෙන් පසු මෙම ණය අර්බූදය විසදීමේ කටයුතු අපි ආරම්භ කළා. අපි ඉතා අපහසුවෙන් හෝ ණය ගෙවීම් කළා. ඒ අපහසුතාවය අපි සියලූ දෙනාටම දැනුණා. එය ඉතා අසීරු කටයුත්තක් වුණා. අපි ණය ගෙවීම පැහැර හැරියා නම්මේ රට බංකොලොත් රටක් බවට පත්වෙනවා.

ග්‍රීසීය වැනි රටවල මෙවැනි තත්වයක් පැවති අවස්ථාවලදී 40% කින් වැටුප් ගෙවීම අඩු කළා. රෝහල්වල ඖෂධ නොමැතිව මිනිසුන් ජීවිතක්ෂයට පත් වුණා. පාසල් වල ගුරුවරුන් නොසිටීමෙන් දරුවන් ඇතුලත් කිරීමට නොහැකි වුණා. නමුත් අපි ඒ කිසිවක් සිදු කළේ නැහැ. අපි මේ රටේ ණය ගෙවීම සිදුකරන අතරතුර වැටුප් වැඩිකිරීම ද සිදු කළා. හෘද රෝගීන් සඳහා ස්ටෙන්ට් නොමිලේ දීම සිදු කළා. පාසල් අතරින් ළඟම පාසල හොඳම පාසල බවට පත්කළා. කිසිම අඩුවක් සිදු කළේ නැහැ. මේ කටයුතු කිරීමට අපට ටිකක් අපහසු වුණා. නමුත් අපි පොරොන්දු වූ පරිදි එම කටයුතු සිදු කළා.

අපි මුදල් උපයා ණය ගෙවීම සිදු කළ යුතුව තිබෙනවා. මේ වසරේ සිට සීඝ්‍ර අපනයන ආර්ථිකයක් ඇතිකිරීමට අප කටයුතු කළ යුතුව තිබෙනවා. සීඝ්‍ර අපනයන ආර්ථිකය ඇතිකිරීමට නම් අපට අපනයන කර්මාන්ත අවශ්‍ය වෙනවා. අපනයන අයි ටී සේවාවක් අපට අවශ්‍යයි. උපරිම තාක්ෂණය යොදවන අළුත් කෘෂිකර්මාන්තයක් අවශ්‍යයි. මේ සියලූ දේ සිදුකිරීමෙන් ඊළඟ වසර පහ, දහය තුල මෙම ණය ගෙවීමට අපට හැකියාව ලැබෙනවා. 2030 වන විට අප මේ සියළු ණය ගෙවා අවසන් කළ යුතුව තිබෙනවා.

ණය බර මේ වන විටත් අපි ටිකෙන් ටික අඩුකිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ සීග්‍ර සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීම අප සිදු කළ යුතුව තිබෙනවා. ඒ යටිතල පහසුකම් ලබාදීමට අප විසින් හදුනාගත් එක් ප්‍රදේශයක් ලෙස වයඹප්‍රදේශය නම් කර ඇති බව මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. දැනටමත් ඒ පිළිබද සියලූ සැලසුම් සකස් කරමින් පවතිනවා.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් මේ ප්‍රදේශයේ සම්පූර්ණ දියුණුවක් ඉදිරියේදී අපට දැකගත හැකි වෙනවා. කුරුණෑගල ප්‍රධාන නගරයක් බවට පත්වෙනවා. එන සතියේ අධ්‍යාපන අමාත්‍යතුමා සමඟ පැමිණ පොරොන්දු වූ පරිදි ජාතික පාසලේ වැඩකටයුතු විවෘත කිරීම සිදු කරනවා.

එපමණක් නොවෙයි. මාර්තු 04 වෙනි දින බිංගිරිය ආයෝජන කලාපය විවෘත කිරීම සිදු කරනවා. එය ලංකාවේ දැනට තිබෙන ආයෝජන කලාප අතරින් විශාල කලාපය බව මම මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා. මෙම ආයෝජන කලාපය අක්කර 600, 800ක් පමණ ප්‍රමාණයක ඉදිකර තිබෙනවා. එය කටුනායක හා බියගම කලාපවලට වඩා විශාල කලාපයක්. මේ ආකාරයට හොඳ වැඩපිළිවෙලවල් අපි සකස් කරගෙන යනවා.

අපේ රටේ දැන් මුදල් ඉපයිය යුතුව තිබෙනවා. විශාල ලෙස ආයෝජන ලබාගත යුතුව තිබෙනවා. රුපියල්වලින් නොව ඩොලර් වලින්. ඩොලර්වලින් මිලියන 100ක් නොවෙයි. ඩොලර් වලින් මිලියන 1000ක් නොවෙයි. එවාගේ 10 ගුණයකින් ඉදිරි වසර කිහිපය තුලදී අපි මුදල් ඉපයිය යුතුව තිබෙනවා. අපි ඒ වැඩකටයුතු කිරීමෙන් ඊළග පරපුරට හොඳ අනාගතයක් ලබාදීමට හැකියාව ලැබෙනවා. මේ වසර 05 තුල අපි සිදු කළේ ආර්ථිකය ස්ථාවර කිරීම, ණය ගෙවීමට ශක්තියක් ඇති කර ගැනීම, ජීඑස්පී ප්ලස් සහනය නැවත ආපසු ලබාගැනීම ආදියයි.

ඒ වගේම අපි දැන් අලූතින් සිතා අපි ලබාගත් මුදල් පියවිමට උපයන මාර්ග සදහා යා යුතුව තිබෙනවා. ඒ සඳහා අඩිතාලම මේ වන විටත් අපි දමා තිබෙනවා. ඒ කාර්යය ටිකක් අපහසුයි. අපි ගංවතුර තර්ජනයට මුහුණ දුන්නා. නියඟයට මුහුණ දුන්නා. අපිට නොයෙක් ප්‍රශ්න මතු වුණා. නමුත් ඒ සියල්ල අභිබවා අපි ඉදිරියට යනවා. ඒ සඳහා ඔබේ සහයෝගය අපට අවශ්‍ය බව අවසාන වශයෙන් මා ප්‍රකාශ කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *