උතුරේ ජනතාව පළාත් සභා ප්‍රතික්ෂේප කරයි!

February 19, 2019 at 5:15 am | by admin

උතුරු පළාත් සභාව විසිර මාස 5ක් ද නැගෙනහිර පළාත් සභාව විසිර මාස 17ක් ද ගත වී තිබුණ ද ඒ සඳහා මැතිවරණ ඉල්ලා උතුරේ ජනතාව කෙඳිරියක් හෝ නොනැඟීමෙන් උතුරේ ජනතාව පළාත් සභා ප්‍රතික්ෂේප කොට ඇති බව තහවුරු වන්නේ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල පවසයි.

පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී හෙතෙම වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.

“ලංකාවට පළාත් සභා හඳුන්වා දුන්නේ උතුරු නැගෙනහිර ජනතාවට තිබෙන බව කියූ ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන්. පළාත් සභා හඳුන්වා දීමෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳෙන බවට ඉන්දියාව වගේම එක්සත් ජාතික පක්ෂය, වාමාංශික පක්ෂ, ප්ලොට්, ඊපිආරඑල්එෆ්, ඊපිඩීපි, ටෙලො, දෙමළ විමුක්ති එක්සත් පෙරමුණ වැනි දේශපාලන බලවේගත් විශ්වාස කළා. ඒ අනුව දකුණේ ජීවිත 73,000ක් පූජා කරමින් පළාත් සභා පිහිටෙව්වා.”

“දැන් උතුරේ පළාත් සභාව විසිර ගිහින් මාස 5ක් වෙනවා. නැගෙනහිර පළාත් සභාව විසිර ගිහින් මාස 17ක් වෙනවා. ආණ්ඩුව සිතා මතා පළාත් සභා මැතිවරණය කල් දමා තිබෙනවා. පළාත් සභාව උතුරු නැගෙනහිර ජනතාවට නැතුවම බැරි නම් පළාත් සභා ජනතාවගේ ප්‍රශ්න විසඳනවා නම් දැන් උතුරු සහ නැගෙනහිර පළාත්වල පළාත් සභා ඡන්දය ඉල්ලා ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න එපායැ. පසුගිය මාස 17ටම උද්ඝෝෂණයක් තබා හින් කෙඳිරිල්ලක්වත් නෑ. මරාගෙන මැරිලා දිනා ගත්තාට මධ්‍යම ආණ්ඩුව උතුරට කරපු දේවත් මහ ඇමති විග්නේෂ්වරන්ට කරන්න බැරි වෙලා තිබෙනවා.”

“අධ්‍යාපනයට වෙන් කළ මුදල් භාවිතා නොකර ආපසු ගිහින් කියන්නේ යලි කොටි ඕනෑ කියන විජයකලා අමැතිතුමිය. අලුත් බලතල ඉල්ලන්න කලින් දුන්නු බලතල වලින් වැඩ කරලා පෙන්වන්න කියන්නේ ලංකාවේ පෙඩරල් කප්පිත්තා වන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. උතුරු නැගෙනහිරට වැඩි බලතල ඉල්ලා දෙමළ සංධානය සටන් කරද්දි දෙමළ දේශපාලකයන්ට බලය ලැබුණත් එකයි නැතත් එකයි ආකල්පයෙන් තමයි දෙමළ ජනතාව ඉන්නේ.”

පක්ෂයේ මහජන නියෝජිත ලේකම් උපුල් කෝණාර මහතා සහ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රිනී ධර්මා කෝට්ටේගොඩ මහත්මිය ද මෙම අවස්ථාව සදහා සහභාගී විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *