අරාබි පාසල්, අරාබි ඇඳුම්, විදෙස් ගුරුවරු, අරාබි සංස්කෘතිය ඔබ අනුමත කරනවාද? සමස්ත සමාජය සුවපත් කරන්න වහාම මැදිහත් වන්න! – මොහොමඩ් මුසම්මිල් උලමා සංවිධානය අමතයි…

June 18, 2019 at 7:04 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට පසු රට හමුවේ අපි ස්වයං විවේචනයක් කරන්නෙමු යැයි කී සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානය මෙතෙක් එවැනි ස්වයං විවේචනයක් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් එම සංවිධානය වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය මෙසේය.

සභාපති,
සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානය,
ජයන්ත වීරසේකර මාවත,
කොළඹ 01.

සභාපතිතුමනි,
අස්සලාමු අලෙයිකුම්,

මුස්ලිම් ජනතාව පීඩාවට පත්වන ආකාරයට සමාජයේ ප්‍රචලිත කෙරෙන මතවාද නිවැරදි කිරීම සහ සමස්ත සමාජය සුවපත් කිරීම සඳහා මැදිහත්වීම

පාස්කු ඉරිදා එල්ල කෙරුණු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරවලට වගකිවයුත්තෝ ඉස්ලාම් ආගම අදහන යම් අන්තවාදී පිරිසක් බව දැන් සමාජය තුළ තහවුරු වී ඇති බව ඔබතුමන්ලාට රහසක් නොවේ. නමුත් තව්හීද් ජමාත් වැනි සංවිධාන තුළ දක්නට ලැබෙන අන්තවාදී ප්‍රවණතාව කුමක්දැයි පොදු මහජනයාට අවබෝධයක් නැත. එසේම එවැනි අන්තවාදී ප්‍රවණතාවයන් සහ සැබෑ ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජනතාව අතර පවතින වෙනස කුමක්දැයි පොදු මහජනයාට අවබෝධයක් නැත. එනිසා සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාවට බලවත් අසාධාරණයක් ද සිදු වේ.

ඒ අතර මද්‍රසා සහ අරාබි පාසල් රටේ අධ්‍යාපන පද්ධතියට පිටින් පවතින බවට හා නියාමනයක් නොමැති බවට විවේචනයක් එල්ල වී ඇත. එහිදී ඉතාම බරපතළ චෝදනාවක් එල්ල වී ඇත. එනම් මෙම පාසල්වල ඉගැන්වීමට විදේශීය රටවල්වලින් පැමිණෙන ආගමික අන්තවාදී දේශකයන් විසින් අපේ මුස්ලිම් දරුවන්ගේ මනසට අන්තවාදය ඇතුළු කරන බවට ය. එම චෝදනාවට අදාළ තොරතුරු රාශියක් සමාජගත වී ඇත.

මෙම චෝදනා නිසා අන්තවාදයට විරුද්ධ සහ සාමකාමී සෙසු ජාතීන් සමග සංහිඳියාවෙන් ජීවත් වීමට කැමති සාමාන්‍ය මුස්ලිම් ජනතාවට බලවත් අසාධාරණයක් හා කම්පනයක් ඇති වේ. එම තත්ත්වය නිවැරැදි කිරීම සඳහා එනම් සත්‍ය කුමක්දැයි රටට හෙළි කිරීමේ බරපතළ වගකීමක් ඔබතුමන්ලාට පැවරී ඇති බව ඔබතුමන්ලා ද පිළිගන්නවා ඇත.

තවද ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම, මුස්ලිම් දේවස්ථාන පිළිබඳව, මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම පිළිබඳව මෙන්ම මුස්ලිම් සමාජය තුළ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳව පුළුල් සමාජ සංවාදයක් ගොඩනැගී ඇති මොහොතක ඔබේ සංවිධානය වැනි සංවිධානයක් එම මතවාදවලට අදාළ පිළිතුරු නොදීමෙන් ජාතීන් අතර විරසකය තව තවත් වැඩි වේ. එමෙන්ම අපේ සමාජයේ හටගත් වැරදි ප්‍රවණතා නවතා ගැනීමට ද බාධාවකි. එවැනි ප්‍රවණතා නවතා ගැනීම අපගේ ප්‍රමුඛ වගකීමකි.

ඔබේ සංවිධානයේ නියෝජිතයන්, ආණ්ඩුවේ දේශපාලකයන් හා මුස්ලිම් සංවිධාන එක්ව පැවත් වූ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ වූයේ “අපි ස්වයං විවේචනයක් කරන්නෙමු” යන්න ය. එය ඉතාම හොඳ දෙයකි. නමුත් එම සාකච්ඡාවේදී සිදු වූ වැරදි මොනවාද යන්න පැහැදිලි කෙරුණේ නැත. එමෙන්ම කළ යුත්තක් නොකර සිටීම මෙන්ම නොකළ යුත්තක් කිරීම ද වරදකි. ඒ ආකාර දෙකටම අදාළ වන වැරදි එකින් එක ගෙන පැහැදිලි කළා නම් ඉතා වැදගත් බව ඔබතුමන්ලා ද පිළිගන්නවා ඇත. නුදුරු දිනක දී ඔබතුමන්ලා විසින් එම පැහැදිලි කිරීම කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. ඒ සඳහා ජනමාධ්‍ය භාවිත කරමින් සමාජයට යහපත් සංවාදයක් ඇති කිරීමට ඔබතුමන්ලා මැදිහත් විය යුතු යැයි මම විශ්වාස කරමි. එවැනි ඔනෑම බුද්ධිමය සංවාදයකට ඉදිරිපත් වීමට හා ඒ සඳහා අවශ්‍ය මාගේ පූර්ණ සහාය ලබා දීමට මම කැමැත්තෙමි.

ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය ගොඩනැගීමේදී මුස්ලිම් සමාජය කෙරෙහි එල්ල වූ සැක සංකා දුරු කිරීම සඳහා ආගමික වියතුන්ගේ මැදිහත් වීම ප්‍රමාණවත් ලෙස සිදු වූයේ යැයි මම නොදකින අතර ඉදිරියේ මෙවැනි සිදුවීම් නොවන්නට සමාජය තුළ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අවංකව කටයුතු කරනු ඇතැයි සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ අපේක්ෂාව යැයි සිතමි.

මෙයට,
විශ්වාසී,

මොහොමඩ් මුසම්මිල්
(හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී)
ප්‍රචාරක ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2019.06.17

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස