උදාවී ඇත්තේ අලුත් දේශපාලන යුගයක්! රජුන් තනන සුළු පක්ෂවල ඒකාධිකාරය නිමයි! ඉතිහාසය පැවරූ ඓතිහාසික වගකීම වෙනුවෙන් මා සමග එක්වන්න! -ජනපති

January 3, 2020 at 10:44 am | by emanisa.lk

රජුන් තනන්නන් ලෙස හැඳින්වූ සුළු පක්ෂවල ඒකාධිකාරය පරාජය කරමින් ජනාධිපතිවරයා පත්කරගැනීම රටේ බහුතර ජනතාව සමත් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

අද (03) පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී ජනාධිපතිවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“අප සියලු දෙනාගේම වගකීම වන්නේ ජනතාවට සේවය කිරීමයි. මම අවුරුදු විස්සක් හමුදාවේ සේවය කළා. වසර 10ක් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළා. රුහුණේ ගිරුවාපත්තුවේ මැදමුලන මූලාශ්‍රය කරගත් පරම්පර තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත්වූ මහජන නියෝජතයන් ලෙස කටයුතු කර තිබෙනවා.

මන්ත්‍රීවරු, ඇමතිවරු, නියෝජ්‍ය කථානයකවරයෙක්, කථානයකවරුයෙක්, අගමැතිවරයෙක්, විපක්ෂනායකවරයෙක්, ජනපතිවරු දෙදෙනෙක් පත්කර තිබෙනවා. කුරහන් පාට සාටකය අදින්නේ නැතිවුණත් මම නියෝජනය කරන්නේ එහි ගැඹුරු දර්ශනයයි.

එම දර්ශනය මා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සටහන්ව තිබෙනවා. එය සභාගත කරනවා. ජනතාව මට පැහැදිලි ජනවරමක් දුන්නා.
ජනතාව මා ගැන තැබූ විශ්වාසය කඩ නොකරන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට මමත් මගේ රජයත් කැපවෙනවා. ජනතාවට අවශ්‍ය වුණේ දේශපාලනයේ වෙනසක් කරන්නයි. තව දුරටත් රජුන් නත්නන්ගේ භූමිකාව හසුරවිමට අවස්ථාවක් නෑ. මම ආරාධනා කරනවා අදාළ දේශපාලඥයින්ට මේ දේ තේරුම් ගන්න කියලා. ජාතිය ගොඩ නැගීමේ කර්තව්‍යයට එකතුවෙන්න.

අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මගේ ධුරකාලය තුළ ඒකීය රාජ්‍ය ආරක්ෂා කරනවා. බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කරනවා. ඕනෑම අයෙකුට කැමති ආගමක් අදහන්නට අවස්ථාව තිබෙනවා.

මේ පාර්ලිමේන්තුවේ තර්කානුකූල වාදවිවාද ඇතිවුණා. පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැක ගැනීමට මන්ත්‍රීවරු උත්සාහ කළා. නමුත් පසුකාලීනව ගෞරවය හින වී ගියා. මේ පාර්ලිමේන්තුව නැවතත් ආදර්ශමත් ස්ථානයක් බවට පත්විය යුතුයි.

ගෞරවය දිනා ගැනීමේ වගකීම තිබෙන්නේ මහජන නියෝජිතයන්ටයි. අද දේශපාලන ආර්ථික අර්බුදයක් තිබෙනවා. නිදහසින් පසු අපේ සංවර්ධනය ගැන තෘප්තිමත් වෙන්න බෑ. මහජන නියෝජතියන්ගේ මූලික වගකීම ජනතා සේවයයි.

රටක් දියුණු කරන්නට නිවැරදි දැක්මක් අවශ්‍යයි. සෞභාග්‍යයේ දැක්ම ජාතික වැඩපිළිවෙක්. අපි පියවර රැසක් මේ වන වට ගෙන තිබෙනවා.
ජාතික ආරක්ෂාවට ඉහළ වටිනාකමක් දෙනවා. දක්ෂ නිලධාරීන්ට නැවතත් වගකීම් බාර දී තිබෙනවා. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය අතර මනා සබන්ධීකරණයක් ඇති කළා. අපේ මවුබිම ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, සොරකමින්, මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ගෙන් තොර සුරක්ෂිත රටක් බවට පත්කිරීමට කටයුතු කරනවා.

වැඩකළ හැකි වයසේ සිටින සෑම පුද්ගලයෙකුම ඵලදායි පුද්ගලයෙක් කිරීමට රජය පියවර ගත යුතුයි. සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රතිලාභ සෑම ජන කොටසකටම බේදී යන ලෙස කටයුතු කළ යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන ජනතා ප්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එන තුරු සිටිය යුතු නෑ. ආණ්ඩුව ලබා දුන් බදු සහනවලින් යම් ප්‍රතිශතයක් ජනතාවට ලබා දිය යුතුයි.

දුප්පත්කම තුරන් කිරිම අපේ රජයේ ප්‍රමුඛ අරමුණක්. ඉදිරි මාසය තුළ මේ රටේ ආදායම් අඩු පවුල්වල 100000කට අපි රැකියා දෙනවා. රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය එක්ව අපි රැකියා වියුක්තියට විසඳුම් සෙවිය යුතුයි.

අපේ සාරධර්ම හා සංස්කෘතින් අප හැමවිටම ආරක්ෂා කළ යුතුයි. සෛවරී, නිදහස් , සුරක්ෂිත සාමකාමී රටක් විය යුතුයි. සෞභාග්‍ය යේ දැක්ම තුළින් අපි හඳුන්වා දෙන්නේ ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක්. දියුුණු වීමට උත්සාහ කරන සෑම අයෙකුටම සම අවස්ථා දෙනවා.

දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කළ යුතුයි. රජයේ සේවකයන් අපගේ දැක්ම පිළිබඳව අවබෝධයක් ල බා ගත යුතුයි. දූෂණය හා වංචාව තුරන් කිරීමට කටයුතු කළ යුතුයි.

රාජ්‍ය ආයතන තුළ තාක්ෂණය ප්‍රචලිත කිරීමට විශේෂ අවධානයක් යොමුකරනවා. මීට දශක කිහිපයකට පෙර ලංකාව වෙළඳ මධ්‍යස්ථානයක් වුණා. ඒ අපේ රට සුවිශේෂී තැනක පිහිටා තිබීමයි. අදත් අපිට ඒ වාසයි ලබාගත හැකියි.

මහින්ද රාජපක්ෂ රජය ලංකාව දකුණු අසියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට අරමුණ තිබුණා. ඒ ව්‍යාපෘති අපි ඉදිරියට ගෙන යා යුතුයි. ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට කටයුතු කළ යුතුයි. මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීමත්, දුම්රිය සේවය ශක්තිමත් කිරිමත් අවශ්‍යතාවක්. නාගරිකරණය රටකට යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵල ගෙන දෙනවා. නාගරික තදබදය අඩු කිරීමට පරිසර දූෂණය අඩු කිරිමට ප්‍රතිනාගරීකරණය සිදුකළ යුතුයි.

රට පුරා අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම වැදගත්. ආර්ථික සංවර්ධන ක්‍රියාවලියේදී විදුලි මිල වැදගත් සාධකයක්. සාධාරණ මිලකට බලශක්තිය ලබාදීමට කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන සැලසුම් වැදගත්. අපේ රටේ මැණික් හා ඛණිජ සම්පත්වලින් පෝසත් වුණාට අගය වැඩිකිරීම තවදුරටත් ප්‍රමාණවත් නෑ.

විවිධ නීතිරීති බලපත්‍ර හා තහංචි මගින් සාම්ප්‍රදායකි කර්මාන්ත ක්ෂේත්‍ර සඳහා අනවශ්‍ය හා අසාධාරණ සිමා පනවමින් බාධා ඇති කිරිමට ඉඩ දෙන්නේ නෑ. අපනයනය කළ හැකි කෘෂි නිෂ්පාදන තිබියදී අපි මීට වඩා වැඩි අපනයන ආදායමක් ලබාගත යුතුයි. කර්මාන්ත දියුණු කිරීම සඳහා තාක්ෂණය මුල්කරගත් නව ක්‍රමවේදයක් අවශ්‍ය වෙනවා.

කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමත් මූලික කාර්යයක්. කෘෂි නිෂ්පාදන ප්‍රති අපනයන සම්පූර්ණයෙන්ම නතර කිරිමට උපදෙස් දී තිබෙනවා. බහුදින යාත්‍රාවලට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා සියලුම වරාය නවීකරණය කරනවා. මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සඳහා නව තාක්ෂණය හඳුන්වා දෙනවා.

රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේදී පරිසර ආරක්ෂණය ගැන සැලකිමත් වෙනවා. රටක් වශයෙන් අපට ඇති වටිනාම සම්පත අපගේ අනාගත පරපුරයි. රටේ ආනාගත පරපුරේ කුසලතා හා නිපුණතා වර්ධනය කිරීමට කටයුතු කළ යුතුයි. තරුණ පරපුරට උසස් හා තාක්ෂණික අධ්‍යාපනයට අවස්ථා ඇති කළ යුතුයි.

ධාරිතාවන් කාර්යක්ෂමව ප්‍ර යෝජනයට ගැනීමෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්නා ප්‍රමාණය වැඩි කළ යුතුයි. විශ්වවිද්‍යාල ඇතැම් පාඨමාලා වර්තමානයට ගැලපෙන්නේ නෑ. වෙළඳපොළ ඉලක්ක කරගෙන පාඨමාලා නිර්මාණය කළ යුතුයි. ඩිප්ලෝමා පාඨමාලා ක්‍රමයෙන් උපාධිධාරීන් බිහිකරන පාඨමාලා කළ යුතුයි. හෙදියන් සඳහා ලබාදෙන ඩිප්ලෝමාව වසර හතරක උපාධියක් බවට පත්කරනවා. උසස්පෙළ අසමත් හා සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනගත් සිසුන් වෙනුවෙන් කාර්මික අධ්‍යාපන අවශ්‍යතා ඇති කළ යුතුයි.

සෑම පාසලකම ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම දියුණු කිරීමට කටයුතු කරනවා. අලුත් රැකියා අවස්ථා සොයාදීම සඳහා විදෙස් තානාපති අංශ වෙත උපදෙස් දෙනවා. අධ්‍යාපනය රටකට විදේශ විනිමය උපයාගත හැකි මාර්ගයක්. විදේශීය ශිෂ්‍යයින් ලංකාවට ආකර්ෂනය කර ගැනීමේ වැඩසටහනක් සකස් කළ යුතුයි. විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණිය යුතුයි.

ලෝක ආර්ථිකයේ බල කේන්ද්‍රය ආසියාවට පැමිණෙමින් තිබෙනවා. දේශීය ව්‍යවසායකයන් ආසියානු නව වෙළඳපොළවල් සොයා යෑමට දිරිමත් කරනවා. අති නවීන තාක්ෂණයන් ලෝකය වෙනස් කරමින් තිබෙනවා. තාක්ෂණය වෙනුවෙන් විශාල මුදලක් වැය කරනවා.

රටේ ආනාගත සංවර්ධනය සඳහා කුමානාකාරයේ අයෝජනද යන්න හැඳින ගැනීම වැදගත්. තරුණ පරපුර නව තාක්ෂණයන් හඳුනා ගැනීමට කටයුතු කළ යුතුයි. තරුණ පරපුර තුළ ඉංග්‍රීසි අධ්‍යාපනය හා තොරතුරු තාක්ෂණය ක්ෂේත්‍රයට යොමුවිය යුතුයි. අපට පහසුවෙන්ම දියුණු කළ හැකි වන්නේ සංචාරක ක්ෂේත්‍රයයි.

සංචාරක ක්ෂේත්‍රයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක් ගෙනෙන කර්මාන්තයක් බවට පත්කරනවා. ඉහළ තනතුරුවලට සුදුසුකම් ඇති අය පත්කරන බවට අපි ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළා. සුදුස්සන් පත්කිරීමට අපි කමිටුවක් පත්කළා. 2004-2014 රට තුළ විශාල දියුණුවක් සිදුවුණා. දක්ෂ පරිපාලකයන් පත්කිරිම මගින් මේ දේ නැවතත් අපිට ඇතිකර ගත හැකියි.

19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ව්‍යවස්ථාව නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වෙනස්කම් ඇතිවිය යුතුමයි. වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් ඇතිවිය යුතුයි.

අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නෑ. ප්‍රභල විධායකයක්, ව්‍යවස්ථා දායකයන් හා අධිකරණයක් ස්ථිපත කිරීම නව ව්‍යවස්ථාවකින් සිදුවිය යුතුයි. අපි සෑම රටක් සමගම කටයුතු කරනවා. ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී කිසිම රටක් ඉදිරියේ නොනැමෙන පාලනයක් අපි ස්ථාපත කරනවා. ආර්ථික වැදගත් භූ ප්‍රදේශවල හෝ සම්පත් අනසතු කරන්නේ නෑ. ජාතියක් ලෙස ක්‍රියා කිරීමෙන් අප හමුවේ ඇති සියලු අභියෝග ජයගත හැකියි.

මම මගේ රටට ආදරය කරනවා. මගේ රට දියුණු කරන දැක්මක් මා සතුව තිබෙනවා. ඉතිහාසය විසින් අප මත පනවා ඇති ඓතිහාසික වගකීම භාරගන්න මා සමග එක්වන්න

ඔබ සැමට තෙරුවන් සරණයි!

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස