ආණ්ඩුවේ බහුතරය රකින්න සජිත් මහා පාවාදීමක් කළා…! හේමා නඩේසන්ගේ ගෙදර කළ කුමන්ත්‍රණය ජය ගත්තා..! – විමල්…

May 6, 2022 at 6:21 am | by emanisa.lk

“නියෝජ්‍ය කතානායක පත් කරන අවස්ථාවේදී ‘ආණ්ඩුවට බහුතරයක් ඇති බව පෙන්වීමේ පාවාදීම’ කළේ කවුද, කියා ඔප්පු කර පෙන්වීමට සූදානම්”
– ඕනෑම රූපවාහිනී නාලිකාවක විවාදයට විමල්ගෙන් සජිත්ට අභියෝගයක්!

නියෝජ්‍ය කතානායක පත් කරන අවස්ථාවේදී ‘ආණ්ඩුවට බහුතරයක් ඇති බව පෙන්වීමේ පාවාදීම’ සිදුකළේ කවුද, කියා ඔප්පුකර පෙන්වීමට තමන් සූදානම් බවත් ඒ සඳහා ඕනෑම රූපවාහිනී නාලිකාවක විවාදයකට එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරන බවත් එහිදී හේමා ප්‍රේමදාස මහත්මිය, පොහොට්ටු ප්‍රබලයකු හමුවීමට අදාළ සියලු කරුණු අනාවරණය කරන බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අද(05) බොරැල්ල පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී සංසදයේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය.

“ඔබ කවුරුත් දන්නවා අපි මීට සති කීපයකට පෙර ආණ්ඩුවෙන් ස්වාධීන වෙලා පාර්ලිමේන්තුවේ වෙන මන්ත්‍රී කණ්ඩායමක් විදිහට විපක්ෂයේ අසුන්ගත් බව. ඒ වගේම අපි පවතින අරාජික තත්වය පියමන් කරන්න අන්තර්කාලීන, සර්වපාක්ෂික පාලනතන්ත්‍රයක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ පක්ෂ හා දැනටත් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ සමග සාකච්ඡා කරමින්, උත්සාහයක නියැලී සිටියා. එසේ කටයුතු කරමින් සිටියදී තමයි නියෝජ්‍ය කථානායක ධුරය හිස් වූයේ. එසේ වන්නේ නියෝජ්‍ය කථානායක ධුරය දරන ලද රංජිත් සියඹලාපිටිය මැතිතුමන් සාමාජිකත්වය දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විපක්ෂයේ කොටසක් බවට පත් වීමත් සමඟයි. දැන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සංයුතිය වෙනස් වී තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයත් දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොවෙයි දැන් අපේ ස්වාධීන වූ මන්ත්‍රී සංසදයත් විපක්ෂයේ ඉන්නවා. මේ අවස්ථාවේ අඩුම තරමින් විපක්ෂ නායකවරයාට පුළුවන්කම තිබෙන්නේ ඕනේ තමන් ඉදිරිපත් කරන අපේක්ෂකයාට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනාගේ සහාය හෝ ලබාගැනීමට. නමුත් ඔවුන් ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි පෙනෙන්නෙ. දෙමළ ජාතික සන්ධානය කාටද ඡන්දය දුන්නේ කියා කීමට බැහැ. නමුත් මේ විපක්ෂ නායකවරයාට විපක්ෂයේ අනෙක් පිරිස් සමග සාකච්ඡා කොට එකඟතාවකට ඒමට නොහැකි වී තිබෙනවා. අවම දේ වන ජවිපෙ මන්ත්‍රීවරුන් තිදෙනාගේ ඡන්දයවත් ඔහුට තම අපේක්ෂකයා වෙනුවෙන් ලබා ගැනීමට හැකි වී නැහැ.

“දෙගොල්ලටම ඇනේ වෙලා තියෙන්නෙ අපි”

විපක්ෂයට එක්වූ අපේ මන්ත්‍රී කණ්ඩායමට විපක්ෂනායකවරයා කලින් දැනුම් දුන්නා නම් තමන් අපේක්ෂකයකු දානවා, කියලා අපට අපේක්ෂකයකු ඉදිරිපත් නොකර ඉන්න තිබුණා රංජිත් සියඹලාපිටිය මැතිතුමාට කිසිම කැමැත්තක් තිබුණේ නැහැ, ඉල්ලා අස්වූ තනතුරට යළිත් පත් වීමට. නමුත් අන්තිම මොහොතේ ඔවුන් දැනුම් දුන්නා ඉමිතියාස් බාකිර් මාකර් මහතාව ඉදිරිපත් කරන බව. සජිත් ප්‍රේමදාස මහත්තයා මෙහෙම කළේ ඇයි? ඒ තමයි කුමන්ත්‍රණය. ඊයේ සහ පෙරේදා හේමා ප්‍රේමදාස මහත්මිය තිරු නඩේෂන් මහත්තයාගේ ගෙදරදී පොහොට්ටුවේ නායකයෙක් හමු වෙනවා. තිරු නඩේෂන් තමයි කපුකම කළේ. හේමා ප්‍රේමදාස මහත්මිය සමග ‘කුටු කුටු ගාලා’ මොකක්ද මේ කළේ? පොහොට්ටු නායකයන්ට අවශ්‍යයි, ‘විපක්ෂයට ගියාට මේ අය තවමත් ඉන්නේ අපි සමඟයි’ කියලා අපව පෙන්වන්න. සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයට ද අවශ්‍යයි, ‘විපක්ෂයට ආවාට මේ අය තවම ඉන්නේ ආණ්ඩුවේ’ කියලා අපව පෙන්වන්න. මේ දෙගොල්ලන්ටම ඇනේ වෙලා තියෙන්නේ අපි. ඒ අනුව ඔවුන් හිතනවා, අපේ ස්වාධීන කණ්ඩායමෙන් අපේක්ෂකයකු දැමීමට ඉඩ දීලා, අන්තිම මොහොතේ එයාලගේ අපේක්ෂකයකුත් දාලා අපේ අපේක්ෂකයාට පොහොට්ටුවේ ඡන්ද ලැබුණාම අපි තවමත් පොහොට්ටුවේ කියලා පෙන්වන්න පුළුවන් වේවි, කියලා‌.

‘විපක්ෂ නායකගේ කොන්ත්‍රාත්තුව’

අපේ කණ්ඩායම තාමත් ඉන්නේ ආණ්ඩුවේ, කියලා පෙන්වන්න සජිත් ප්‍රේමදාස ගහපු මේ මැච් එකෙන් පෙනෙනවා, එයා ඉන්නේ කාත් එක්කද, කියලා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා නම් ඔහු දිනවිය යුත්තේ විපක්ෂ කණ්ඩායම. විපක්ෂය බෙදන එකද විපක්ෂ නායකගේ කොන්ත්‍රාත්තුව? අපට නම් ලැජ්ජයි. රාජපක්ෂ පවුල අද සජිත් ප්‍රේමදාසට භාරදී ඇත්තේ එම කොන්ත්‍රාත්තුවයි. අද සජිත් ප්‍රේමදාස කටයුතු කරන්නේ රාජපක්ෂ පවුලේ න්‍යාය පත්‍රයට අනුවයි. මේ රටේ විපක්ෂ නායකයන් කිසිම විටෙක කටයුතුකර නැහැ විපක්ෂය බෙදෙන විදිහට.

‘සජිත්ගේ සිහිනය’

ඒකෙන් පෙනෙනවා, සජිත් ප්‍රේමදාස මහත්තයා එක වෙලාවක පාරේ තෙමීගෙන, තවත් වෙලාවක දාඩිය දමාගෙන පිඹ පිඹ, ගියාට එයාගේ එකම සිහිනය ‘මේ රාජපක්ෂ පාලනය ඔහේ පැවතුණාවේ. ඒක තමයි මට සතුටුදායක තත්ත්වය’ කියන එක. අපිට ඉමිතියාස් බාකිර් මාකර්ව දානවා කියලා ඊයේ නොකීවේ ඇයි? එහෙම කීවා නම් අපි අපේක්ෂකයකු නොදා ඔහු ඉදිරිපත් කිරීමට සහයෝගය දෙනවානේ. නමුත් එහෙම නොකිව්වෙ විපක්ෂය බෙදන්න. බෙදන එකයි කුමන්ත්‍රණය. දැන් පැහැදිලියි, කාටද විපක්ෂය බෙදන්න ඕනේ? ආණ්ඩුවට. කවුද විපක්ෂය බෙදුවේ? සජිත් ප්‍රේමදාස.

‘රාජපක්ෂ පවුලට කෘතවේදී වීමට හේතුව’

දැන් බලන්න සජිත් ප්‍රේමදාස ප්ලේ කරන්නේ කාගේ මැච් එකක් ද, කියලා. මේක මේ රටේ ජනතාව දැනගන්න ඕනේ. කවුරු ‘ගෝ හෝම්’ කියා සටන්පාඨ කියන්නත් කලින් මේ රටේ ජනතාවට හදාගන්න වෙනවා ‘පුතාණෝ ගෝ ගම’ කියා ගමක්. මේ රටේ මිනිස්සු ‘ගෝ හෝම්’ කියන අයව තවදුරටත් තියාගන්න තමයි දැන් පුතාණෝ කටයුතු කරන්නේ. එයාගේ ප්ලෑන් එක ඒකයි. ඒ නිසා මේ රටේ ආණ්ඩුව කෙරෙහි කලකිරුණු, ඊට විරුද්ධ සියලු බලවේග තේරුම්ගත යුතුයි සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා අද රඟදක්වන්නේ තනිකරම රාජපක්ෂ පවුලට අවශ්‍ය භූමිකාව බව. එයාට රාජපක්ෂ පවුලට කෘතවේදී වෙන්න වෙනවා. මොකද එයාගේ නංගි සල්ලි ගොඩක් එක්ක අහුවුණාම බේරාගත්තේ රාජපක්ෂලා. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයෙන් පැරදුනාම රාජපක්ෂලා කිසිම කරදරයක් කළේ නැහැ. මධ්‍යම සංස්කෘතික අරමුදලට අදාළ ඔහුට එරෙහි චෝදනාව යළි ජනතා විමුක්ති පෙරමුණ සිහිපත් කරලා තිබෙනවා. ඒ පිළිබඳව රාජපක්ෂලා කිසිම පරීක්ෂණයකට ඉඩ තියලා නැහැ. එවැනි බෝනස් නිසා සජිත් ප්‍රේමදාස මහත්තයාට රාජපක්ෂ පවුල අසීරු තත්ත්වයකට පත්වුණාම කෘතවේදීව සලකන්න වෙනවා. ඒවා ඉතින් අපිට නම් තේරෙනවා. නමුත් ඒවා මේ රටේ මිනිස්සු දන්නේ නැහැනේ.

ඒ නිසා අපි සජිත් ප්‍රේමදාසට අභියෝග කරනවා, ‘ඕනෑම නාලිකාවක රූපවාහිනී සංවාදයකට එන්න. කවුද නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගන්නා අවස්ථාවේදී පාවාදීම සිදු කළේ, කියා අපි ඔප්පුකර පෙන්වන්න සූදානම්. වෙනත් අය එවන්න එපා!’ අපි එතනදී ‘හේමා ප්‍රේමදාස හමුවුණේ කාවද? කොතනදී ද, කීයටද? කියන සියල්ල කියන්නම්. අභියෝගය පුළුවන් නම් භාරගන්න. කැත, නින්දිත පාවාදීම් කරලා තවදුරටත් විපක්ෂ නායක භූමිකාව තියාගන්න හදනවා නම් ඒක හරියන්නේ නැහැ ප්‍රේමදාස මහත්තයෝ ”

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය යන මහත්වරු ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2022-05-05

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස