“විජමුගේ භාෂා, සංස්කෘතික දැක්ම පිළිගන්නවාද?” – විජමු පරමාදර්ශයක් යැයි කී සජිත්ගෙන් ගෙවිඳු අසයි…

March 1, 2021 at 10:40 am | by emanisa.lk

අභාවප්‍රාප්ත විජමු ලොකුබණ්ඩාරගේ භාෂා සංස්කෘතික ප්‍රතිපත්තිය පිළිගන්නේ දැයි විජමු පරමාදර්ශයක් යැයි කියන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසන බව යුතුකම සභාපති ගෙවිඳ කුමාරතුංග සඳහන් කරයි.

හිටපු කතානායක විජමු පිළිබඳ ශෝක ප්‍රකාශ අවස්ථාවට එකතු වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු මේ බව විමසා සිටියේ ය.

“එ.ජා.ප. නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිය ශෝක ප්‍රකාශයෙන් කියා තිබුණේ වි.ජ.මු. හිඩැස තව දශකයකටවත් මකන්නට බෑ කියා ය. අප මේ අදහස තේරුම්ගත යුත්තේ කෙසේ ද?

එ තුමා අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයේ ලොකුබණ්ඩාර විද්වතාණන් භාෂාව සම්බන්ධයෙන්, අපේ සංස්කෘතිය සම්බන්ධයෙන්, අපේකම පිළිබඳ දැරූ මොනම හෝ ප්‍රතිපත්තියක් සමස්ත රජයේ ප්‍රතිපත්තිය ලෙස ක්‍රියාත්මක වුණා ද?

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කියා තිබුණේ වි.ජ.මු. පූර්වාදර්ශයක් නොව පරමාදර්ශයක් කියා ය. ගරු විපක්ෂ නායකතුමනි, සිංහල භාෂාව, සංස්කෘතිය සම්බන්ධයෙන් වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා ගේ මතය නැත්නම් ප්‍රතිපත්තිය ඔබ ගේ නව දේශපාලන පක්ෂයේ භාෂා සංස්කෘතික ප්‍රතිපත්තිය බවට පත්කර ගන්නේ ද?

ගරු අගමැතිතුමනි, ගරු සභානායකතුමනි, මේ ගුණ සැමරීම අපේ රජයේ ප්‍රතිපත්ති කෙරෙහි ද අවදානය යොමු කිරීමටත්, ස්වයං විවේචනයක යෙදීමටත් අප පසුබට නොවිය යුතු යි.

වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා මූලික වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයෙක් බව ද, අවසාන වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ත්‍රස්තවාදය පරාජය කිරීමට උදව් කළ කතානායකවරයා බව ද සිහිපත් කරමින්, එ තුමා බස පිළිබඳ, අපේ සංස්කෘතිය පිළිබඳ, අපේ සභ්‍යත්වය පිළිබඳ එ තුමා ගේ දැක්ම අපේ පොදු ප්‍රතිපත්තිය බවට පත්කරගෙන එ තුමාට උත්තම උපහාරය දක්වමු යැ යි ඉල්ලා සිටිමින්, අපේ රට ලෝකයට අපේ ම සභ්‍යත්වයක ආලෝකය පතුරුවන රටක් බවට පත් කරගනිමු යි යන ප්‍රාර්ථනාව ඔබ හමුවේ තබමින් මම නිහඬ වීමට කැමැති යි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස