අලුත් නායකයෙක් අලුත් වැඩපිළිවෙළක් රටට ඉල්ලනවා! එජාප සන්ධානය පමා කළොත් වෙනත් විකල්පයකට යනවා! – ඇමති පාඨලී කල්යල් බලා වැට උඩට නැඟ එජාපයට අනතුරු අඟවයි….

August 23, 2019 at 11:25 am | by emanisa.lk

යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවා ජනාධිපති අපේක්ෂකයා කඩිනමින් නම් කළ යුතු බවත් ඊට එක්සත් ජාතික පක්ෂය අදිමදි කරන්නේ නම් තවත් බලා නොසිට විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවත් ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක ඊයේ (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ නායකයින්ට අනතුරු ඇඟවීමක් කළේය.

එහිදී මෙසේ ද ප්‍රකාශ කළේය.

පක්ෂයක් හැටියට 2014 නොවැම්බර් මාසේ 18 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා අපි එවකට පැවතිච්චි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් ඉවත් වුණා. අනතුරුව ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයාට සහයෝගය ලබාදුන්නා. ඒකට ප‍්‍රධාන හේතුව මහින්ද රාජපක්ෂ මහත්මයා එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය පරාජය කිරීමට අප විරුද්ධ වූ නිසාවත්, ඔහු විසින් රටේ ගෙන ගිය සංවර්ධනය හෝ ඔහුගේ කාර්ය සාධනයේ අඩුපාඩුවක් නිසා නොවෙයි. අපි ප‍්‍රධාන වශයෙන් කරුණු ගණනාවක් දැක්කා, එකක් තමයි ප‍්‍රධාන වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එල්ල වී තිබූ තර්ජනය. එතුමා හා එතුමාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක් විසින් රාජ්‍ය මූල්‍ය තමන් අතට අරගෙන තමන්ට රුචි විදිහට අධික පොළියට ණය අරගෙන අනාගත පරපුර බරපතල ණය අර්බුදයකට දමමින්, ඒ වගේම කිසිම විනිවිද පෙනෙන ස්වභාවයකින් තොරව අති විශාල ධනසක්න්ධයක් මේ සංවර්ධන ව්‍යායාමය පිටුපසට දාගෙන මංකොල්ල කන බව අපට හැඟී ගිය නිසා.

ඒ වගේම මේ රටට අප විශ්වාස කළා යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසක් අවශ්‍යයි. විශේෂයෙන්ම එවකට පැවතිච්ච අත්තනෝමතික ජනාධිපති බලතල ඉවත් කරලා රට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කළ යුතුයි. රටේ බිය සැක දුරු කළ යුතුයි, සමාජය බලාත්මක කළ යුතුයි කියලා අප විශ්වාස කළා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් රටට එල්ල වී තිබූ යම් යම් වටලෑම්වලට බුද්ධිමත්ව මුහුණ දී ඒවයින් රට ගලවා ගත යුතුයි කියලා අපි කල්පනා කළා. ඒ වගේම අපි විශ්වාස කළා දූෂණය වැනි කාරණා සම්බන්ධයෙන් විවෘත නීති රීති පද්ධතියක් ගෙනල්ලා රට විනය ගරුක රටක් බවට පරිවර්තනය කරන්න ඕනේ කියලා. එම සියලු බලාපොරොත්තු ඇතිව තමයි අපි එම ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක, පොදු පක්ෂයකින්, පොදු ලාංඡනයකින් පැමිණිච්ච මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට පොදු ප‍්‍රතිපත්ති මාලාවක් එක්ක ඡන්දය ජයග‍්‍රහණය කරන්න කටයුතු කළේ.

ඉන් පසුව පැවතිච්ච මහා මැතිවරණයේදී අප අපේ අනන්‍යතාවය පවත්වාගෙන එක්සත් ජාතික පෙරමුණට එකතු වෙලා ඒ මැතිවරණය ජයග‍්‍රහණය කරන්න කටයුතු කළා. අද දේශපාලන වේදිකාවේ ඒ බලමුළු බලකඳවුරු ඉතාම පැහැදිලියි. එක පැත්තකින් රාජපක්ෂවරු කිසිම වෙනසක් නැතිව පැරණි මිනිස්සු, පැරණි තාලවලින්, පැරණි ආකාරයට, සමහරවිට ඊටත් වඩා නරක ආකාරයට අද කරලියට ඇවිල්ලා තමන්ට මේ රට ගලවාගත හැකියි. මේ රටේ ආරක්‍ෂාව තහවුරු කළ හැකියි, තමන්ට මේ රට ඉදිරි මගක ගෙන යා හැකියි, තමන් මේ රට බලගතු ඊශ‍්‍රායලයක් වගේ, එහෙම නැත්නම් සිංගප්පූරුවක් වගේ, ඇමරිකාවක් වගේ තත්වයකට පරිවර්තනය කරනවාය කියලා පොරොන්දු දෙමින් යන බව අපට පේනවා. ඒ කඳවුර පැත්තෙන් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසටවත් මේ රටේ රාජ්‍ය මූල්‍ය මුහුණ දෙන ණය බර ප‍්‍රශ්නය පිළිබඳවත් මේ රටේ කුසලතාවට මුල්තැන දීම පිළිබඳවවත් අපට බලාපොරොත්තු තියා ගන්න බැහැ. 2015 තිබුණටත් වඩා නරක තත්වයක් තමයි එතැන අපට පේන්න තිබෙන්නේ.

ඊ ළඟට විකල්ප අපේක්‍ෂකයෙක් හැටියට අනුර කුමාර දිසානායක මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණ පොදු ලකුණකින්, පොදු පක්ෂයකින් පොදු අපේක්‍ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා කියලා දැන් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ ගැන අපි සතුටු වන අතර එතුමාට සුභ පතනවා. නමුත් අප තවමත් විශ්වාස කරනවා ඒ පොදු අපේක්‍ෂකයාට රාජපක්ෂ පවුල්වාදී කල්ලිය මේ රට තවත් භයානක අනතුරකට යාමෙන් ගලවා ගන්න හැකියාව නොමැති බව. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරෙන් ශක්තිමත් අපේක්‍ෂකයෙක්, ශක්තිමත් වැඩපිළිවෙලක්, ශක්තිමත් න්‍යාය පත‍්‍රයක්, ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් විය යුතුයි කියා අප විශ්වාස කරනවා. ඒ නිසා තමයි අප ගිය වසරේ සිට උත්සාහ කළේ. 2018 මැයි 1 වන දා සිට පුළුල් පොද සන්ධානයක් ගොඩ නගා ගැනීමට අපි උත්සාහ කළා. මොකද අපි ඡන්දය ඉදිරිපත් වුණේ එක්සත් ජාතික පෙරමුණ හැටියට වුණත් අපට බැරි වුණා මැතිවරණ කොමසාරිස්වරයා පිළිගත්ත පුළුල් සංධානයක් පිහිටුවා ගන්න. ඒ නිසා පුළුල් සන්ධානයක් බිහිකර ගැනීම වෙනුවෙන් අප උත්සාහ කළා. අප මේ මැයි පළමුවෙනිදා එය ප‍්‍රකාශයට පත් කරන්න හිටියා. නමුත් සහරාන් හෂීන්ගේ පාස්කු ප‍්‍රහාරය නිසා එය කරගන්න බැරි උනා විතරක් නෙමෙයි රටේ දේශපාලන තත්ත්වය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වුණා.

දැන් නොයෙක් දෙනා ප‍්‍රකාශ කළා මේ සන්ධානය හදන්න එක්සත් ජාතික පක්ෂය දිය කරන වැඩපිළිවෙළක් කියා. එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාව නැති කරන වැඩපිළිවෙලක් ආදී වශයෙන් ඇතැම් අය ප‍්‍රකාශ කළා. තවත් අය මේක වෙන කිසිම අපේක්‍ෂකයෙකුට දිනන්න බැහැ එක්සත් ජාතික පක්ෂයෙන්ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියලා අදහස් පළ කළා. එහෙම අදහස් පළ කරන්න අයිතිය තිබෙනවා. නමුත් මේ රටේ ඡන්ද සංයුතිය සහ ඒ ක්‍රියාකාරීවන ආකාරය දෙස බැලූවහම විශේෂයෙන්ම 2015 නොහිටපු ලක්ෂ 10 ක පමණ නව තරුණ ඡන්ද ප‍්‍රමාණයක් තිබෙන අවස්ථාවක හා අද වන විට ලක්ෂ 40 ක පමණ කාටවත් නොබැඳි, කොයි පක්ෂයකටවත් අයත් නැති ඡන්දදායක ප‍්‍රමාණයක් සිටින අවස්ථාවක, ඊළඟ මැතිවරණයේදී ලක්ෂ 130 ඉක්මවා ගිය වලංගු ඡන්ද වලංගු ඡන්ද සංඛ්‍යාවක් තිබෙන තත්වයකදී අපි විශ්වාස කරන්නේ නැහැ පුළුල් සන්ධානයකින් ඉදිරිපත් නොවන අපේක්‍ෂකයෙකුට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරෙන් ජයග‍්‍රහණය කරන්න පුළුවන් වෙයි කියා. ඒ නිසා තමයි අපි එම පුළුල් සන්ධානය යෝජනා කළේ. දැන් අපට සතුටින් කියන්න පුළුවන් ගිය සෙනසුරාදා අපි ඉතාම සාර්ථක සාකච්ඡා වටයක් පවත්වලා සියළු පක්ෂ නායකයෝ එක්සත් ජාතික පක්ෂයේ නායකයොත් සමග ඒ සන්ධානය සම්බන්ධයෙන් තිබූ සෑම ගැටළු සහගත තත්වයක්ම අප ලිහා ගත්තා. විසඳුම් ලබාගත්තා.

දැන් එම සන්ධානයේ නාමය, ලකුණ, කාර්යාලය ලේකම්වරයා, නායකත්වය හෝ නායකත්ව මණ්ඩලය හෝ අපේක්‍ෂකයා තෝරන ආකාරය පිළිබඳව අනාගත මහ මැතිවරණ තරඟ කරන අවස්ථාවලදී ක්‍රියා කරන ආකාරය ගැන ගටලු ඇත්තේ නැහැ. ඒ පිළිබඳව අපි එකඟතාවකට ඇවිල්ලා තිබෙන්නේ. මම දන්නේ නැහැ කොයිතරම් දුරට ඒ ඒ පක්ෂ ඒ ගැන දැනුවත් ද කියලා. ඒ නිසා අපි දැන් යෝජනා කරනවා කල් නොයවා මේ සන්ධානයෙන් ජනාධිපතිවරණයට එන අපේක්‍ෂකයා වහාම ප‍්‍රකාශයට පත් කළ යුතුයි. කවුරුන් හෝ මේක කල්දානවා, කල්මරනවා කියන්නේ ප‍්‍රශ්න ඇති කරන්න ක්‍රියාකරනවා කියන්නේ මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලකඳවුර පරාජයට පත් කිරීම සඳහා කරන වැඩපිළිවෙලක් හැටියට තමයි අපට පේන්නේ. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී බල කඳවුර ශක්තිමත්වන ආකාරයට ඒ කටයුත්ත කළ යුතුයි.

ඒ වගේම පසුගිය අවුරුදු 5 ක පමන එම පාලන කාලය තුළ මේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, අප ඇතුළු ඇමති මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම අපට අත්දැකීමක් තිබෙනවා මේ රජය කරගෙන ගිය දේවල් පිළිබඳව. ඇතැම් දේවල් රජය සාර්ථකව කලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස පුළුල් කිරීම ආදී ක්‍ෂෙත‍්‍රවල. තවත් ක්‍ෂෙත‍්‍රවල දූෂණය මර්දනය කිරීමේ සහ දූෂකයින්ට දඬුවම් කිරීම කියන ක්‍රියාවලිවල ජනතා අපේක්‍ෂාවන්වලට පටහැනිව ක්‍රියා කළා. ජනතාව අපෙන් දුරස්වන තත්වයට, ජනතාව අප කෙරෙහි කේන්ති ගන්න තත්වයට පත් වුණා. ඒ වගේම මේ සහරාන් හෂීම් ගේ ප‍්‍රහාරත් සමග ආගමික ආතතීන් ඇතිවන අවස්ථාවලදී ඒවා සම්බන්ධයෙන් නිෂ්චිතව වේගයෙන් කටයුතු කළේ නැහැ. අද මේ වනකනුත් ඒ නීති පද්ධති සම්මත කිරීම බොහොම පමාවෙලා එකින් එක හිමිහිට තමයි යන්නේ. ඒ නිසා ඒ බියසැක, අවිශ්වාසය, ආතතිය තවම තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ යටතේ හා රාජ්‍ය මූල්‍ය මුහුණ දී තිබෙන භයානක අභියෝගය ආජන්ටිනාවේ වගේ රට බංකොලොත් නොවී ඉදිරියට ගෙනයන්න පුළුවන්ය කියන විශ්වාසය සහිත ආර්ථික වැඩපිළිවෙළක්. ඒ වගේම රට දාල යන්නේ නැති, රටේ නැවත කැරළි ඇති වෙන්නෙ නැති ආගමික ගැටුම් ඇති වෙන්නැති සමාජ වාතාවරණය ඇති කරගන්න පුළුවන් ප‍්‍රජාතාන්ත‍්‍රික වැඩපිළිවෙළක්. ඒ නිසා නිකම්ම නිකං හුදු සන්ධානයක්,අපේක්‍ෂකයෙක් නෙමෙයි අප බලාපොරොත්තු වෙන්නේ අලුත් සන්ධානයක්, අලුත් වැඩපිළිවෙලක්, අලුත් නායකත්වය කණ්ඩයමක් සමග රටට අලුත් බලාපොරොත්තුවක් තමයි අපගේ ඉල්ලීම.

ඒ නිසා අපි මේ පිළිබඳව ගරු අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ නායක කාරකාදීන්ගෙන් අප ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් මේ කටයුත්ත කරන්න නොඑසේනම් මේ බලකඳවුර ඉදිරි දේශපාලන ආර්බුදයකට යාම පිළිබඳ වගකීම පැටවෙන්නේ ඒ පිරිසටයි. මේ සම්බන්ධයෙන් මේ රජය බලයට පත් කරන්න, මේ රජයට අභියෝග එල්ල වූ ඔක්තොම්බර් මාසයේ කුමන්ත‍්‍රණය වැනි අවස්ථාවේදී ඒවාට නිර්භයව මුහුණ දී ඉදිරියට යන්න කටයුතු කළ පිරිසක් හැටියට, ඒ වගේම මේ රජය කිසිම ආකාරයකට, මේ ආණ්ඩුව මොනම විදිහකටවත් අපකීර්තියට පත් වන විදිහට, අපහසුවට පත්වෙන විදිහට කිසිම ප‍්‍රකාශයකින් හෝ ක්‍රියාකාරකමකින් දායක නොවිච්ච පිරිසක් හැටියට අපි බොහොම බලගතු දේශපාලන ආයාචනයක් කරනවා. ඒ වගේම අපි එක දිගටම මේ රටේ දේශපාලන බලය පවුල්වාදී කණ්ඩායම විසින් ගසා ගන්නකන් ඉවසිලිවන්තව බලා ඉන්න පිරිසකුත් නෙමෙයි. ඒ නිසා ඉතා ඉක්මනින් ඒ පිළිබඳ තීරණ අරගෙන මේ පොදු ජනතාවගේ ප‍්‍රාර්ථනය ඉෂ්ට කරන්න කියලා අපි ආයාචනා කරනවා. එසේ නොවුණහොත් අපට විකල්ප පියවරක් ගැනීමට සිදුවන බවත් ප‍්‍රකාශ කළ යුතුයි.

ඒ නිසා මේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ජනතාවට අලුත් සන්ධානයක් අවශ්‍යයි ඒකට අවශ්‍ය කරන සියලුම පසුබිම,නීත්‍යානුකූල ලියවිල්ල සූදානම්. අපට අවශ්‍යයි අපේක්‍ෂකයෙක්. ඒ අපේක්‍ෂකයා ඉදිරියට ගෙන යන අලුත් වැඩපිළිවෙළක්, ඒ වගේම එම අලුත් වැඩපිළිවෙළ සමග රටකරවන අලුත් කණ්ඩායමක්, ඒ වගේම අලුතින් ඡන්දය ලබාදෙන දශ ලක්ෂයක් වූ තරුණ පරම්පරාවට පොදුවේ සියලු ප‍්‍රජාතන්ත‍්‍රවාදී විශ්වාසයන් සහිත දේශපාලන පක්ෂවලටත්, නොබැඳි ඡන්ද දායකයින්ටත් මේ රටේ ගෞරවනීය මහා සංඝරත්නය ඇතුළු සියළුම ආගමික නායකයින්ටත් සමාජ ක්‍රියාකාරීන්ටත් අලුත් බලාපොරොත්තුවක් අවශ්‍යයි. එය ඉටු කරලීමට ක්‍රියාකරන හැටියට අප ප‍්‍රකාශ කරනවා.’

– මාධ්‍ය අංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස