දණ ගැස්සූ ආර්ථිකය හරි ගැස්සුවා! සංවර්ධනය රටේ සෑම කොනකටම ගෙන ගියා! – ඇමති රවී

August 5, 2019 at 3:04 pm | by emanisa.lk

කොම්පඤ්ඤ වීදියේ මෙට්‍රෝ හෝම්ස් මහල් නිවාස සංකීර්ණයේ වටිනාකම රු. මිලියන 11 800ක් බවත් එම මුදලින් ගම්උදා 500ක් පමණ කළ හැකි බවත් සැබෑ සංවර්ධනය එය බවත් ඇමති රවී කරුණානායක පවසයි.

ඇමතිවරයා මෙම අදහස් දැක්වූයේ කොම්පඤ්ඤවීදියේ ස්ථාපිත කළ මෙට්‍රෝ හෝම්ස් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

“පවුල් 626 කට අද දීප්තිමත් අනාගතයක් ආරම්භ වෙනවා. රටක සංවර්ධනය කියන්නේ මේ ආකාරයේ කටයුතු සිදුකිරීමයි. වසර 5 කට කලින් මොවුන් ජීවත්වූ අනවසර නිවාස මොවුන්ට අහිමි වුණා. අද මොවුන්ට ආඩම්බරයෙන් ජීවත්විය හැකි නිවසක් ලැබිලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පාඨලී චම්පික ඇමතිතුමාට අපි ස්තුතිවන්ත විය යුතුයි. මෙම නිවාස ඉදිකිරීම වෙනුවෙන් කෝටි 700ක් පමණ වැය කර තිබෙනවා. ඉඩම් එක්ක බැලුවොත් මිලියන් 11,800 ක් පමණ වැය කරලා තිබෙනවා. එක් නිවසකට මිලියන 24 ක් පමණ වියදම් කරලා තිබෙනවා. මේක තමයි සැබෑ සංවර්ධනය. මේ වැය කර ඇති මුදලින් ගම්උදා 500 ක් පමණ කරන්න පුළුවන්.

ලෝකය වෙනස් වන ආකාරයට රටේ සංවර්ධනයත් වෙනස් වියයුතුයි. පුංචි ලංකාව ලෝකයට බද්ධ වීමට නම්, බුද්ධිමත් පිරිස් එකමුතු වෙලා රට තුළ මේ ආකාරයේ සංවර්ධන කටයුතු සිදුකළ යුතුයි. විශේෂයෙන් ජනතාවගේ යටිතල පහසුකම් වර්ධනය කර දියයුතුයි.

අද රටේ සෑම කොනකම සීග්‍ර සංවර්ධනයක් සිදුවෙමින් පවතිනවා. අපි 2015 ජනවාරි 8 බාරගත්ත ආණ්ඩුව තුළ නොයෙක් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කලා. දණ ගහපු, කඩාවැටුණ ආර්ථිකයක් සවිශක්තිමත් කරලා, රටේ එක්තැනකට සීමාවූ සංවර්ධනය රටේ සෑම කොනකටම ගෙනගියා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස