ගෝඨා නියත ජනපති බව කියන මංගලගේ ඉලක්කම් සෙල්ලම් සහ ජනාධිපතිවරණය!

September 13, 2019 at 9:06 am | by emanisa.lk

ඇමති මංගල සමරවීර සිය ලීඩර් වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් මේ රටේ සිටින බුද්ධිමත්ම හොඳම නායකයා රනිල් වික්‍රමසිංහ බවත් ඔහු ජනාධිපති වනු දැකීම සිය සිහිනයක් වූ බවත් පවසයි. එහෙත් එළඹෙන ජනාධිපතිවරණය ජයගැනීමට රනිල් වික්‍රමසිංහට නොහැකි බව තිත්ත ඇත්ත යැයි ද ඔහු ඒත් සමගම පෙන්වා දෙයි. රනිල්ට බැරිය.

ගෝඨාභය රාජපක්ෂ සමග තරඟ කොට ජයග්‍රහණය කරවිය හැකි එකම එජාප අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව පැවසීමට ඔහු ප්‍රවේශය ගන්නේ එසේය. මංගල පවසන පරිදි සජිත් ලවා ගෝඨා පරාජය කොට ජයග්‍රහණය කිරීම අතේ ඇති පහසු ජයකි.

මංගල සමරවීර මෙම කරුණු සනාථ කිරීමට තමා වෙත ලැබී ඇති සමීක්ෂණයක ප්‍රතිඵල බව කියන සංඛ්‍යා ලේඛන කිහිපයක් ද ගෙනහැර පායි. එහෙත් මෙම සමීක්ෂණය කළ ආයතනය හෝ සිදු කළ ආකාරය පිළිබඳ කිසිදු තොරතුරුක් ලබා දෙන්නේ නැත.

වර්තමාන එජාප ආණ්ඩුවේ ජනාධිපති අපේක්ෂකයා රනිල් හෝ සජිත් හෝ කරූ හෝ වෙන කවුරුන් හෝ වුවද ලැබෙන ප්‍රතිඵලය අතර එතරම් ලොකු වෙනසක් පැවතිය නොහැකි බව සක්සුදක් සේ පැහැදිලි වුවද සජිත් ප්‍රේමදාසට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ අරමුණින් නිකුත් කර ඇති මෙම ඊනියා සමීක්ෂණයක් මගින් සොයා ගත්තේ යැයි කියන අපූරු සංඛ්‍යා දත්ත පිළිබඳ පැහැදිලි කර ගැනීමක් සිදු නොකළ හොත් ඇතැමුන් මංමුලා විය හැකිය.

එජාප අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ ඉතාම පහසුවෙන් පරාජය කළ හැකි බවට පාරම්බාන ඇමති මංගල සමරවීර අතේ තබා ගෙන සිටින ඊනියා සමීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය අනුව වුවද එළඹෙන ජනාධිපතිවරණයේ දී එජාපයට පරාජය හිමි වන බව මුලින්ම සඳහන් කළ යුතුය. ඇමති මංගල සමරවීර පවසන ගෝඨාභය රාජපක්ෂ සමග තරඟ කොට ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා වන ඇමති සජිත් ප්‍රේමදාසට එම සමීක්ෂණයේ අවසාන ප්‍රතිඵලය අනුව ලැබෙනු ඇත්තේ ඡන්ද මිලියන 4.64කි. එහිදී ගෝඨාභය රාජපක්ෂට ඡන්ද මිලියන 4.69ක් හිමි වෙයි.

සිංහල බෞද්ධ ඡන්ද පදනම

මෙම ඊනියා සමීක්ෂණ දත්ත මේ රටේ මහ පොළොවේ යථාර්ථයට කිසිසේත් සමපාත නොවන මනෝමය සංඛ්‍යා බව සඳහන් නොකරම බැරිය. ගෝඨා-රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවක ගෝඨාභයට ලැබෙන සිංහල බෞද්ධ ඡන්ද ප්‍රමාණය 58%කි. 10%ක් රනිල්ට ලැබෙයි. එහෙත් ගෝඨා-සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ගෝඨාට සිංහල බෞද්ධ ඡන්ද 50%ක් ලැබෙන අතර සජිත්ට 30%ක් සිංහල බෞද්ධ ඡන්ද ලැබෙයි.

මහ බැංකුව කොල්ල කෑ, රණවිරුවන් දඩයම් කරමින් යුද අපරාධකරුවන් කළ, භික්ෂූන් වහන්සේලාට නින්දා අපහස කර හිරේ විලංගුවේ දැමූ, පන්සලේ පිං කැටයටත් සීල් තැබූ, අන්තවාදීන්ට රිසි සේ රටේ පුරාවස්තු සංහාරයට ඉඩදුන්, හම්බන්තොට වරාය ඇතුළු ජාතික සම්පත් විකුණා ගෙන කෑ, රටට එරෙහි ගිවිසුම් අත්සන් කළ, සියයට 8කට ආසන්න රටේ ආර්ථික වර්ධනය 3%ට ඇද දැමූ, රටේ ණය ප්‍රමාණය ඇ.ඩො. 5200 සිට 14000 දක්වා ඉහළ දැමූ, රාජපක්ෂ පාලනයට සාපේක්ෂව (2014=රු.බි. 1050/ 2018=රු.බි.2077) දෙගුණයක් බදු අය කරමින් ජනතාව නොමරා මැරූ, අවසානයේ පාස්කු ප්‍රහාරය අවශ්‍ය වාතාවරණය රටේ නිර්මාණය කර ජනතාව මරා දැමූ ආණ්ඩුව කරවන එජාප නායකයාට වඩා නියෝජ්‍ය නායකයාට සිංහල බෞද්ධයන් 20%ක් ඡන්දය දීමට හේතුව කුමක්ද? සෙසු හින්දු ඉස්ලාම් කතෝලික ජනතාව ඡන්දය දීමට හේතුව කුමක්ද?

එම ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු ලෙස සජිත් ප්‍රේමදාස මෙම විනාශයට වචනයකින් හෝ එරෙහි වූයේද? අවම වශයෙන් රටේ සංස්කෘතික ඇමතිවරයා ලෙස මේ රටේ ඓතිහාසික උරුමය ආරක්ෂා කර ගැනීමට පුරාවස්තු සංහාරය නතර කිරීමට ඔහු කළේ කුමක්ද? මුස්ලිම් අන්තවාදීන් නැඟෙනහිර චෛත්‍ය බුල්ඩෝසර් කර මිරිස් වවන විට මේ ඇමති හිටියේ කොහිද? දෙමළ අන්තවාදීන් උතුරේ ගුරුකන්ද විහාරයට පැන කෝවිල් අටවන විට මේ ඇමති සිටියේ කොහිද? ඉස්ලාම් අන්තවාදී මාර සෙනඟ මුහුදින් ද ගොඩබිමෙන් ද මුහුදුමහා විහාරය ගිළගන්නා විට රටේ ජාතික උරුමය භාර ඇමති කළේ කුමක්ද? අවම වශයෙන් මුහුදු මහා විහාරයට ගොස් ප්‍රශ්නය විමසා බැලුවේද? කතෝලික ඇමතියකු කුරගලට විදුලිය ලබා දෙන විට ඊටත් ගල් පෙරළමින් බාධා කළේ මේ ඇමති නොවේද? මුස්ලිම් මවුලවියකු ලවා කල්ලාරු රක්ෂිතයේ අක්කර දෙකක් වනසා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කළ බවට චෝදනා එල්ල වූයේ ඔහුට නොවෙද?

රටේ ජාතික උරුමයන් විනාශ මුඛයට ගොදුරු වෙද්දී එම උරුමය සංරක්ෂණ සඳහා වැය කළ යුතු මධ්‍යම සංස්කෘතික අරමුදලින් කෝටි සිය ගණනක් ගෙන අඬබෙර ගසමින් දහම් පාසල් ගොඩනැඟිලි සහ පල්ලි හදමින් පිම්බීම බෞද්ධකමද? සිංහලකමද? අවම වශයෙන් ඥානාන්විත වැඩක්ද? මේ සියල්ල මැද මුස්ලිම් අන්තවාදීන් මාවනැල්ලේ බුදු පිළිම වනසන විට එම පිළිමවල කෞතුක වටිනාකමක් නැතැයි උජාරුවෙන් පැවසූ ඇමතිවරයා කවුදැයි සිංහල බෞද්ධයන්ට පමණක් නොව සාමයට ළැදි සමස්ත ජනතාවට අමතක කළ හැකිද?

සජිත්ගේ න්‍යායාචාර්ය මංගල යනු කවුද?

සජිත් ප්‍රේමදාසට ඔටුනු පළන්දන්නට දක්කා ගෙන පෙරහැරේ කේවට්ට බමුණා බවට පත්ව සිටින ඇමති මංගල සමරවීර යනු ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනාව ඇමරිකාව සමග එක්ව ජිනීවා මානව හිමිකම් සමුළුවට ගෙන ආ විදේශ ඇමතිවරයාය. ඉතිහාසයේ සිය රටට එරෙහිව ජිනීවා වෙත යෝජනාවක් ඉදිරිපත් කරමින් මාතෘභූමියට ද්‍රෝහී වූ ලොව පළමු එකම සහ අවසාන දේශද්‍රෝහි ඇමතිවරයා ඔහු විය යුතුය.

වර්තමාන හමුදාපතිවරයා පත්කිරීමේ දී ඊට එරෙහිව දෙමළ සන්ධානය සහ බටහිර බලෙවේග සමග එකට සිට ගෙන රටට එරෙහි වූයේ මංගලය. මාතෘභූමියට එරෙහිව සටන් කළ ත්‍රස්තවාදීන්ට අතුරුදන් වූවන්ගේ ලේබලය යටතේ මාසිකව රු. 6000 බැගින් ලබා දීමට සූදානම් බව නොබෝදා ප්‍රකාශ කළේ මොහුය. ඒ රට වෙනුවෙන් දෑත් දෙපා ඇස් ඉස් මස් ලේ දන් දුන් රණ විරුවන් විශ්‍රාම වැටුප් ඉල්ලා මහ පාරේ තෙමී නහින රටකය.

පාස්කු ප්‍රහාරයෙන් මුළු රටම ලෙයින් තෙත් වී ඒ ලේ පැල්ලම් මැකෙන්නටත් පෙර මේ රට සිංහල බෞද්ධ නොවේ යැයි පවසමින් ද රට වෙනුවෙන් හඬ නැඟූ කුඩාපොළ, වාරියපොළ සුමංගල, එස්. මහින්ද පරපුරේ භික්ෂූන් වහන්සේලාට චීවරධාරීන් යැයි නින්දා කරමින් ද තවත් විනාශයකට අර ඇන්දේ ඇමති මංගල සමරවීර බව කිසිවකුට අමතක නැත.

ගම්පහ, පොළොන්නරු, මාතර ආදී ප්‍රදේශවල භික්ෂූන් වහන්සේලා පන්සලකට වැද්දා නොගන්නැයි සංඝ ආඥා පවා පැනවූ සජිත් ප්‍රේමදාසගේ කසකරුවා පිළිබඳ බෞද්ධයන් තුළ හොඳ අවබෝධයක් ඇත. ඒ කිසිම අවස්ථාක සජිත් ප්‍රේමදාස බෞද්ධයන් වෙනුවෙන් හෝ මහා සංඝ රත්නව වෙනුවෙන් පෙනී නොසිටි බව කිසිවකුට අමතක නැත.

කතෝලිකයකු වනු අගදරගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටිද්දී බෞද්ධ යැයි කියාගන්නා මේ ඇමතිවරු විලිලැජ්ජාවක් නැතිව ආණ්ඩුවට වී සිටියහ. භික්ෂූන් වහන්සේලාට ගණින්නාන්සේලා යැයි නින්දා කළ ඇමති රංජන් රාමනායක අටමස්ථානාධිපති භික්ෂූන් වහන්සේට “කෝටිපති සිවුරු” යැයි අපහාස කරන විට ඔවුන් සමග එකගෙයි කෑවා මිස සජිත් ප්‍රේමදාස කළේ කුමක්ද? එහෙව් සජිත් ප්‍රේමදාස පෙන්වා සිංහල බෞද්ධයන් රැවටිය හැකි යැයි මංගල සමරවීර සිතන්නේ නම් එය ඒ ජනතාවගේ බුද්ධියට නිගා දීමකි. සැබවින්ම හරීන් ප්‍රනාන්දු කියන්නා සේ සජිත් ප්‍රේමදාස යනු රනිල් වික්‍රමසිංහගේ දරුවාය. කිරිඇල්ල කියන්නා සේ සජිත්ගේ පියා රනිල්ය. මංගල සමරවීර ඒ දරුවාගේ කෙවට්ටාචාරියාය.

හින්දු ඡන්ද පදනම

මෙම සමීක්ෂණය අනුව ගෝඨා-රනිල් ජනාධිපතිවරණයට එන්නේ නම් ගෝඨාට හින්දු ඡන්ද 12%ක් ලැබෙන විට රනිල් වික්‍රමසිංහට 37%ක් ලැබෙයි. එහෙත් සජිත් පැමිණේ නම් සජිත්ට 51%ක් ලැබී ගෝඨාගේ 12%ක ඡන්ද ප්‍රමාණය 8% දක්වා පහත වැටෙයි. හින්දු ජනතාව රනිල් වික්‍රමසිංහට 37%ක් ලබා දෙන අතර සජිත්ට 51%ක් ලබා දීමට හේතුව කුමක්ද? සජිත්ගේ පියාණෝ ප්‍රභාකරන්ට සිමෙන්ති යකඩ සහ මුදල් ලබා දීමද? ඔහුගේ පියාණෝ ජනාධිපතිවරණය ජයගැනීම සඳහා වතුකරයේ ජනතාවට මෙරට පුරවැසිභාවය ලබාදීමද? සංස්කෘතික ඇමති ලෙස ගුරුකන්ද විහාරයේ කෝවිලක් හදන තුරු නිහඬ සිටීම ද? එසේ නැත්නම් 2015 මෛත්‍රී-රනිල් ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව ඒකීය රාජ්‍ය තුළ උපරිම බලය බෙදීමක් කරන බවට ලබා දුන් පොරොන්දුවද?

හින්දු ජනතාව බෙදුම්වාදය මතම විශ්වාසය තබා ඡන්දය ප්‍රකාශ කරන්නේ යැයි උපකල්පනය කළ ද දෙමළ සන්ධානයට මෙන්ම ජාත්‍යන්තරයට ද බෙදුම්වාදී බලවේගවලට ද වඩා විශ්වාසනීය ගෝලයා රනිල් බවත් ඔහුට සජිත්ට වඩා හින්දු ඡන්ද ලබා ගැනීමේ හැකියාවක් ඇති බවත් නොරහසකි.

අනෙක් අතට කොටි ත්‍රස්තවාදය නිමා වීමත් සමග වසර ගණනාවක් නිදහසේ ජීවත් වූ උතුරේ හින්දු ජනතාවට පාස්කු ප්‍රහාරය සමග යළි මරබිය දැනිණි. උතුරින් හමුදා පැන්නීමට ඇඟිලි ගණින දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ට පවා උතුරේ ආරක්ෂාව තහවුරු කිරීමට හමුදාව යොදවන ලෙස ඉල්ලා සිටීමට සිදුවිය. ඒ සමගම නල්ලූර් කෝවිල ඇතුළු කෝවිල්වලට දැඩි ආරක්ෂාවක් ලබා දුන් අතර නැවතත් උතුරේ පොලිස් මාර්ග බාධක වැටිණි. මේ සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුතු ආණ්ඩුවේ අගමැති සහ ඇමතිවරයකු අතර වෙනසක් තිබේද? මේ ගැටලු හමුවේ රනිල් වික්‍රමසිංහට වෙනස් හැසිරීමක් සජිත් ප්‍රේමදාස ප්‍රදර්ශනය කළේද?

අනෙක් අතට ආණ්ඩුවේ වරදාන වරප්‍රසාද ලබමින් ආණ්ඩුව රකිමින් දෙමළ සන්ධානය ගෙන ගිය දෙබිඩි දේශපාලන ව්‍යාපෘතිය නිසාම ඔවුන් ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙමින් තිබේ. 2018 පළාත් පාලන ඡන්දයේ දී උතුරු නැඟෙනහිරින් දෙමළ සන්ධානයට ලැබී තිබුණේ 32%ක ඡන්ද ප්‍රමාණයක් පමණි. 68%ක දෙමළ ජනතාව දෙමළ සන්ධානය ප්‍රතික්ෂේප කර තිබේ.

මේ අනුව දෙමළ සන්ධානයට උවමනා ආකාරයට තව දුරටත් දෙමළ ජනතාව නැටවිය නොහැකි බවත් විනයාගමූර්ති මුරලිදරන්, ආරුන් තම්බිමුත්තු, සතාසිවම් වියාලේන්ද්‍රන්, ශිවශක්ති ආනන්දන්, වර්ධරාජා පෙරුමාල්, නාරා අරුණ්කාන්ත්, මුත්තයියා මුරලිදරන් වැනි දෙමළ නායකයන් සමග විකල්ප බලවේගයක් නිර්මාණය වන බව ද කිසිවකු අමතක කළ යුතු නැත. ජයග්‍රාහී අපේක්ෂකයා වෙත ආකර්ෂණය වන වතුකරයේ නායකයන් පිළිබඳව ද මෙම සමීක්ෂණ ඉලක්කම් සෙල්ලම්කාරයන් අධිතක්සේරුවක සිටින බව නම් නොකිවමනාය.

කතෝලික ක්‍රිස්තියානි ඡන්ද පදනම

මෙම සමීක්ෂණ ඉලක්කම් අනුව ගෝඨා-රනිල් ජනාධිපතිවරණයට පැමිණෙන්නේ නම් කතෝලික ක්‍රිස්තියානි ඡන්ද 27%ක් ගොඨාට ද 21%ක් රනිල්ට ද ඡන්ද ලැබෙයි. එහෙත් සජිත් පැමිණෙන්නේ නම් ගෝඨාගේ ඡන්ද ප්‍රමාණය එක වරම 11% දක්වා පහත වැටෙන අතර සජිත්ට 57%ක් ලැබෙයි. ක්‍රිස්තියානි පදනමක් සහිත රනිල්ට නොමැති කතෝලික ක්‍රිස්තියානි ඡන්ද පදනමක් සජිත්ට ලැබෙන්නේ කෙසේද? ඒ ජනතාව සජිත් වෙත ආකර්ෂණය වන්නට ඔහු තුළ ඇති ගුණාංග මොනවාද? කිරුළුපන අන්තවාදී ගුහාවට රිංගීම ද? සිය සොහොයුරිය රෝසි සේනානායකගේ ආගම වැළඳ ගැනීමද? එම ජනතාව සිටින්නේ සජිත් සමග නම් කතෝලික ජෝන් අමරතුංග රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි? අනෙක් අතට පාස්කු ප්‍රහාරය නිසා අසරණ වූ කතෝලික ජනතාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස පෙනී සිටියේද? මධ්‍යම සංස්කෘතික අරමුදලේ වියදමින් පල්ලි ප්‍රතිසංස්කරණය කරදීම හැර රිෂාඩ් බදියුදීන් සමග එකගෙයි කන සජිත් ප්‍රේමදාස එම ප්‍රහාරයෙන් පීඩිත ජනතාව වෙනුවෙන් කිසිවක් කර තිබේද? මුස්ලිම් අන්තවාදයට එරෙහිව කටේ කෙළ බිඳක් හෙළා තිබේද? සිය කේවට්ටයා වන මංගල සමරවීර කතෝලික ජනතාවගේ නායකයා වන කාදිනල්තුමාට අපහාස කරන විට සජිත් ප්‍රේමදාස ඊට එරෙහි වූයේද? තම ආගමික නායකයාට අපහාස කළ සාතන්ලාගේ අත්වාරුවෙන් ඇවිදින සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමට තරම් කතෝලික ජනතාව රැවටිය හැකි යැයි සිතීම පවා ඒ ජනතාවට කරන නින්දාවකි.

ඉස්ලාම් ඡන්ද පදනම

ජනාධිපතිවරණයට ගෝඨා-රනිල් ඉදිරිපත් වන්නේ නම් රනිල්ට 36%ක ඉස්ලාම් ඡන්ද ද ගෝඨාට 11%ක ඡන්ද ද ලැබෙයි. එහෙත් ගෝඨා සමග සජිත් එන්නේ නම් සජිත්ට 56%ක් ලැබෙන අතර ගෝඨාගේ ඡන්ද 5% දක්වා පහත වැටෙයි! මේ ආකාරයට රනිල්ට වඩා වැඩිපුර මුස්ලිම් ඡන්ද 20%ක් සජිත් වෙත ලැබීමට හේතුව කුමක්ද? සජිත් ඉදිරිපත් වූ විට ගෝඨාට ලැබෙන මුස්ලිම් ඡන්ද 6%කින් පමණ අඩු වන්නේ කෙසේද?ඒ සඳහා රනිල්ට වඩා සජිත් තුළ මුස්ලිම් ජනතාව දකින සුවිශේෂතා මොනවාද? මුස්ලිම් අන්තවාදය පෝෂණය කරමින් ඊට දළු ලා වැඩෙන්නට තිඹිරිගෙය වෙමින් මේ ආණ්ඩුව සිදුකළ කාර්යභාරයට රනිල්-සජිත් දෙදෙනාගේම ආශීර්වාදය නො අඩුව ලැබිණි. එවැනි පසුබිමක රනිල්ටත් වඩා මුස්ලිම් අන්තවාදයට සජිත් සහාය දක්වන්නේ යැයි මුස්ලිම් ජනතාව සිතන්නේ ද?

 නොඑසේ නම් මුස්ලිම් අන්තවාදය සහ සාමාන්‍ය ජනතාව එකිනෙකාගෙන් වෙන් කිරීමට ඉඩ නොදී ආණ්ඩුවේ සියලු මුස්ලිම් ඇමතිවරුන් ඉල්ලා අස්වන තැනට කටයුතු කරමින් මේ රටේ සිංහල දෙමළ වැසියකු මුස්ලිම් ජාතිකයකු දකින විට සහරාන් සිහිවන තැනට කටයුතු කළ ආණ්ඩුව මුස්ලිම් ප්‍රජාවට සිදුකළ විනාශය ඒ ජනතාව වටහා ගෙන නොමැතිද? සෙසු ජාතීන් තමන් කොන් කරන තැනට තල්ලු කළ ආණ්ඩුවක් පවත්වා ගෙන යාමට බහුතර මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව සූදානම් ද?

මංගලගේ ඉලක්කම් විහිළු

පසුගිය 06 වෙනිදා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට සහභාගී වීමට යාපනය බලා ගිය ඇමති මංගල සමරවීර එහිදී මාධ්‍ය අමතමින් සඳහන් කළේ මේ රටේ ජනතාවගෙන් 5/6ක්ම සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටින බවය. ඒ අනුව මේ රටේ ජනතාවගෙන් 83%ක් සජිත් ප්‍රේමදාස මේ රටේ ජනාධිපතිවරයා කිරීමට සූදානමින් සිටිති.

එයින් දවස් 05කට පසු එනම් 11 වෙනිදා සිය ලීඩර් වෙබ් අඩවිය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඇමතිවරයා පසුගිය ජුලි මස ජනාධිපති අපේක්ෂකයන් පිළිබඳ සිදුකළ මෙම සමීක්ෂණ‍ෙ ගැන හෙළි කළේය. එහෙත් ඔහු යාපනයට ගොස් මාධ්‍ය හමුවේ සඳහන් කළ සංඛ්‍යා ලේඛන සහ මෙම සමීක්ෂණ ප්‍රතිඵල අතර සාම්‍යයක් නොමැත. මෙම සැකයේ වාසිය උපරිමය ඇමති මංගලට ලබා දුනහොත් අපට නිගමනය කළ හැක්කේ පසුගිය ජුලි මස පැවැත් වූයේ යැයි කියන මෙම සමීක්ෂණය පිළිබඳ කිසිදු තොරතුරක් ඔහු දින 5-6කට පෙර ද දැන නොසිටි බවය.

මේ ආණ්ඩුව ගෙවෙන තප්පරයක් පාසා පිරිහෙන ආණ්ඩුවක් මිස ජනප්‍රිය වන ආණ්ඩුවක් නොවේ. මේ රටේ උගත් බුද්ධිමත් මධ්‍යස්ථ ජනතාව රනිල් කැහි ගෑණි වෙනුවට සජිත් හොටු ගෑණි ගනීවි යැයි සිතීම පවා ඒ ජනතාවගේ බුද්ධියට කරන නිගාවකි. එහෙයින් ගෝඨා-සජිත් අපේක්ෂකයන් වන පසුබිමක ඡන්ද ලබා දෙන අපේක්ෂකයා මෙතෙක් තීන්දු නොකළ මධ්‍යස්ථ ඡන්ද දායකයන් මිලියන 3.17 අතරින් ද විශාල ප්‍රමාණයක් අවසානයේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයා වෙත නැඹුරු වනු ඇතැයි උපකල්පනය කිරීම සදොස් නොවේ. කෙසේ වුවද වඩාත් වැදගත් වන්නේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු විසින් ඊනියා සමීක්ෂණ සංඛ්‍යා ලේඛනය ඉදිරිපත් කරමින් තම නළලේ කොට ඇති පරාජය පිළිගැනීමය. ගෝඨා ජනාධිපති වූ පසු නමෝ විත්තියෙන් මංගල සමරවීරට උපහාර උළෙලක් පැවැත්විය යුතු යැයි ඇතැමුන් පවසන කතාවේ ලොකු සත්‍යයක් ඇති බව දැන් දැන් පැහැදිලි වෙයි.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට පමණක් යැයි කියාපෑමට යොදා ගන්නා සමීක්ෂණ තමන්ට ද පෙන්වන ලෙස එජාප ජාතික සංවිධායක නවීන් දිසානායක පසුගියදා අභියෝග කළේය. එවැනි සමීක්ෂණ තමන්ට නොපෙන්වන බවට ද ඔහු චෝදනා කළේය. ඉතින් සීත කාමරයකට වී පාළු ගෙයි වළං බිඳීමට වඩා මේ සංඛ්‍යා ලේඛන එජාප නායක, ජාතික සංවිධායක සහ මහ ලේකම් වෙත ඉදිරිපත් කිරීමට මංගල සමරවීරට නොහැකි ඇයි? අමාරුවෙන් සමීක්ෂණ කර එජාපයෙන් කවුරු තරඟ කළත් අවසාන ජයග්‍රාහකයා බවට පත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ බව ඔප්පු කිරීමට දැඟලීමට වඩා එය නුවණක්කාර නැද්ද?

ඉඳුනිල් වික්‍රමසිංහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස