ශ්‍රී ලංකාවේ සංහිඳියාව යනු 13 ක්‍රියාත්මක කිරීමයි! ඉන්දීය අගමැති රට ආපස්සට අදින වෑයමක!

November 30, 2019 at 8:10 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ද ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ද ලබාදෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලි අගනුවරදී ඊයේ (29) පැවැසීය.

ශක්තිමත් රටක් සඳහා ශ්‍රී ලාංකික ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ජනවරමක් දී ඇති බව කී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශක්තිමත් ශ්‍රී ලංකාවක් යනු ඉන්දියාවේ පමණක් නොව ඉන්දීය සාගර කලාපයේ ද බලාපොරොත්තු යැයි ද කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එම කරුණු කීය.

ඉන්දීය නිවාස ව්‍යාපෘතීය යටතේ ශ්‍රී ලංකාව තුළ දැනටමත් නිවාස 46,000ක් ඉදිකර ඇති බවත් දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශවල තවත් නිවාස 14,000ක් ඉදිකරන බවත් හෙතෙම කීය. සූර්ය බල ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් දෙන බව ද අගමැති මෝදි පැවැසීය.

ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවාලිය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ බවත් ජාතීන් හා වාර්ගික සහජීවනය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඔහුගේ දේශපාලන දැක්ම තමන්ට පැහැදිලි කළ බව ද හෙතෙම කීය.

දෙමළ ජනතාවට ගෞරවය ඇතිව සාමය, සමානාත්මතාව සහ සංවර්ධනය ඇතුළු සියලු පරමාර්ථ සහ අභිලාෂ ඉටු කරගනිමින් ශ්‍රී ලංකාව සංහිඳියා ක්‍රියාවලිය තුළ ඉදිරියට යනු ඇතැයි තමන්ට විශ්වාස බව ද ඉන්දීය අගමැතිවරයා කීවේය.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමද සංහිඳියා ක්‍රියාවලියට ඇතුළත් යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස