සිංහල දෙමළ එකමුතුව ස්ථාවර ශ්‍රී ලංකාවක පදනමයි! ඒ සඳහා අපට උපකාර කරන්න! – CNDPය ආචාර්ය ස්වාමිගෙන් ඉල්ලයි…..

September 19, 2019 at 4:36 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ස්ථාවරභාවය තහවුරු කිරීම පිණිස දේශප්‍රේමී සිංහල දෙමළ ජනතාවට ඒකරාශී වීම සඳහා පොදු සංවිධානයක් ගොඩනැඟීමට උදව් කරන ලෙස ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමීගෙන් ඉල්ලයි.

ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක නාරා ටී. අරුණ්කාන්ත් සහ මහ ලේකම් ශිවන් රවිසංකර් පසුගිය 17 වෙනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආචාර්ය ස්වාමී මුණගැසී සාකච්ඡා කළ අවස්ථාවේ මෙම ඉල්ලීම කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ නිවාස නොමැති ජනතාව වෙනුවෙන් නව නිවාස ඉදිකර දීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි ආණ්ඩුවෙන් අරමුදල් ලබා ගැනීම පිණිස ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ඉන්දීය විදේශ කටයුතු ඇමති ජායිශංකර් අතර නවදිල්ලියේ දී තවත් සාකච්ඡාවක් සංවිධානය කරන ලෙස ද ආචාර්ය ස්වාමිගෙන් ඉල්ලා ඇත.

එසේම රැකියා විරහිත නැඟෙනහිර සහ කඳුරට තරුණ තරුණියන් වෙනුවෙන් කාර්මික ජනපදයක් ලබා දෙන ලෙස ද යුද්ධයේ බලපෑමට ලක්වූ දක්ෂ තරුණයන් රැකියා සඳහා පුහුණු කිරීමට වැඩපිළිවෙළක් සකසන ලෙස ද ඉල්ලා ඇත.

ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල පාසල් ළමුන්ගේ සුභ සිද්ධිය පිණිස එම පාසල්වල යටිතල පහසුකම් දියුණු කිරීමට ආධාර කරන ලෙස ද එම පක්ෂය ආචාර්ය ස්වාමීගෙන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා කරගැනීමට සහ ස්ථාවරභාවය තහවුරු කිරීමට ද ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ද කළ හැකි සියලු ආධාර උපකාර කරන බවට ආචාර්ය ස්වාමී මෙහි දී අවධාරණය කර තිබේ.

කොටි ත්‍රස්තවාදයට සහ බෙදුම්වාදයට එරෙහි දැඩි මතයක සිට දිගටම කටයුතු කළ සුබ්‍රමනියම් ස්වාමී ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දීය සහාය ලබාදීමට මුල්වී කටයුතු කළ අයෙකි.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය දුර්වල වීම, ලංකාව දේශපාලනික වශයෙන් අස්ථාවර වීම මෙන්ම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව දුර්වල වීම නිසා ත්‍රස්තවාදී තිප්පොළක් වීමත් ඉන්දියාවේ ජාතික ආරක්ෂාව කෙරෙහි ඍජුවම බලපාන බව ඔහුගේ අදහසය.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතම උපදේශකයකු වන හෙතෙම හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධරයෙකි. ඉන්දීය ආණ්ඩුවේ දේශපාලන තීන්දු තීරණ කෙරෙහි ප්‍රබල බලපෑමක් කරන උපායමාර්ගික විශේෂඥයෙකි. පසුගියදා ඔහු ප්‍රකාශ කළේ 2020 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් සියලු දේශප්‍රේමි ඉන්දියානුවන් ඔහුට සහාය විය යුතු බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස