හිටපු විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත වෙයි!

August 7, 2019 at 8:41 am | by emanisa.lk

හිටපු ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් ඊයේ (06) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇය 67 වන වියේ පසුවූවාය. ඇය කලක සිට දියවැඩියාවෙන් පීඩා විඳි අතර අනතුරුව වකුගඩු රෝග තත්ත්වයකට ද ගොදුරු විය.

සුෂ්මා භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකාවක් වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් ද වූවාය.

2014-2019 කාලයේ මෝදි ආණ්ඩුවේ විදේශ කටයුතු ඇමති ධුරයේ කටයුතු කළ සුෂ්මා අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා මෙවර මැතිවරණයට තරඟ නොකළ අතර ඇමති ධුර භාර ගත්තේ ද නැත.

1977 හර්යානා ප්‍රාන්තයේ ඇමති ධුරයට පත්වෙමින් ඉන්දියාවේ ළාබාලතම කැබිනට් ඇමති ධුරයට පත් වූ සුෂ්මා දිල්ලියේ 5 වන මහ ඇමතිනිය ද වූවාය.

ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් සඟරාව ඉන්දියාවේ වඩාත් ජනාදරයට පත් දේශපාලනඥයා ලෙස හැඳින්වූ සුෂ්මා මධ්‍ය ප්‍රදේශ් විදිෂා බල ප්‍රදේශය 2014 දෙවන වරටත් ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද ලක්ෂ 4ක් ලබා ගනිමිනි.

සිය නිල කාලය තුළ ලංකාවට ද පැමිණි සුෂ්මා ලංකාවේ දේශපාලනඥයන් සමග දෙරටට අදාළ බොහෝ කරුණු කාරණා පිළිබඳ සාකච්ඡා කළ අතර දෙරටේ ධීවරයන් මුහුණ දෙන ගැටලු විසඳීමට ද උත්සාහ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස