ඉන්දීය මැතිවරණයෙන් අගමැති මෝදිට සුපිරි ජයක්! සුළු පක්ෂවල සහාය නොමැතිව ආණ්ඩුවක් තනයි!

May 24, 2019 at 8:05 am | by admin

ඉන්දීය මහ මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ජයග‍්‍රහණය කර ඇත. ඉන්දීය මහා මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට ආසන 350 ක් හිමි වෙද්දී කොංග‍්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ ආසන 90 ක් පමණි.

මෙම ජයග‍්‍රහණය මගින් අගමැති නරේන්ද්‍ර මෝදිගේ දේශපාලන ජනප‍්‍රිය භාවය නැවත වරක් තහවුරු වී ඇත. භාරතීය ජනතා පක්ෂයට 2014 දී ආසන 282ක් ලද අතර මෙවර එම ජයග‍්‍රහණයට වඩා විශිෂ්ට ජයග‍්‍රහණයක් මෙවර හිමි වී ඇත.

ඉන්දියාව පුරාම මෝදී රැල්ල වඩා හොඳින් පැතිර ඇති බව දේශපාලන විචාරකයෝ පවසති. කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි සිය අසුන පරාජය වීම ද විශේෂත්වයකි. ඔහු තරඟ කළ උත්තර ප්‍රදේශයේ අමෙනි අසුන භාරතීය ජනතා පක්ෂයේ තරඟ කළ Smriti Irani (ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය මාලා නාටකයක් වූ මහගෙදර ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හෙවත් තුල්සි විරානි) නම් නිළිය ජයග්‍රහණය කළාය.

ඉන්දියානු පාර්ලිමේන්තුවේ බහුතරය සඳහා ආසන 272 ක් අවශ්‍ය වන අතර භාරතීය ජනතා පක්ෂය එම ප‍්‍රමාණය දැනටමත් සපුරා ඇත. මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයෝ අටදහසක් පාර්ලිමේන්තු ආසන 543ක් වෙනුවෙන් තරග කළහ.

තමිල්නාඩු ප්‍රාන්තයෙන් භාරතීය ජනතා පක්ෂය දිනාගෙන ඇත්තේ ආසන 02ක් පමණක් වන අතර සුළු පක්ෂවල සහාය නොමැතිව තනිව ආණ්ඩුවක් තැනීමේ අවස්ථාව මෝදිට හිමිව තිබේ.

මෙම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා නායක පිරිස් අගමැති මෝදිට සුබ පැතුම් එක් කරමින් සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *