බෙදුම්වාදය ප්‍රතික්ෂේප කළ කරුණාට දඬුවම් දෙනු! – ජාතික විද්වත් සංඝ සභාව

June 29, 2020 at 8:31 pm | by emanisa.lk

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් නැඟෙනහිර හිටපු කොටි නායක කරුණා අම්මාන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලා ජාතික විද්වත් සංඝ සභාව මගින් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එය ජාතික හෙළ උරුමයට සම්බන්ධ සංවිධානයකි.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වෙයි

මහින්ද දේශප්‍රිය මැතිතුමා 2020.06.29

සභාපති
මැතිවරණ කොමිෂන් සභාව
සරණ පාර, ශ්‍රී ජයවර්ධනපුර,
කෝට්ටේ.

ගරු සභාපතිතුමනි,

2020 මහ මැතිවරණ අපේක්ෂක විනායමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන අය විසින් අලිමංකඩදී සහ කිළිනොච්චියේදී හමුදා නිළධාරීන් 2000 ත් – 3000 ත් අතර ප්‍රමාණයක් තමන් විසින් ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රසිද්ධියේ පිළිගැනීම

මෙවර 2020 මහ මැතිවරණය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තරඟ වදින එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු ලෙස කටයුතු කළ විනායමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන අය විසින් අම්පාර නාවිගම් ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සිදුකරන ලද ප්‍රකාශයක් පිළිබදව 2020 ජුනි මස 19 වන දින සිරස ටී.වී නාලිකාවේ සවස 7.00 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුළින් ප්‍රචාරය වූ අතර එහිදී එම තැනැත්තා සිදු කරන ලද ප්‍රකාශය පහත උපුටා දක්වා ඇත.

“……..කාර්තිවු සභාපතිවරයා මා ගැන ප්‍රකාශයක් කරල තියෙනව. කරුණා අම්මාන් කොරෝනාවට වඩා භයානකයි කියල. ඒක ඇත්ත තමයි, එයා කියපු එක. කොරෝනා ඇවිල්ල මැරුණෙ නව දෙනෙක් විතරයි. අපි එක රැයකින් අලිමංකඩදී 2000 ක් 3000 ක් විතර හමුදාව මරා දැමුව, තේරෙනවනෙ. එයා කියපු එක හරි. කමක් නෑ. කිළිනොච්චිවලත් කී දාහක්ද………”

ඒ අනුව විනායමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් යන අය ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ සිදුකරන ලද මෙම ප්‍රකාශය තුළින් “මිනීමැරීම” නම් වූ දණ්ඩනීති සංග්‍රහය යටතේ සහ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකරන ලද බවට ප්‍රසිද්ධියේම ප්‍රකාශ කොට පිළිගෙන තිබේ.

මොහු විසින් මැතිවරණ නීති පිළිනොගනිමින් පාර්ලිමේන්තු පනතේ 79 වන වගන්තියට අනුව ඡන්දය ලබාගැනීම වෙනුවෙන් වක්‍රව හෝ ඍජුව ඡන්දදායකයා වෙත අයුතු බලපෑම් සිදුකරමින් ජාතිවාදී උසිගැන්වීමක් සිදුකර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු පනතේ 81 වන වගන්තිය යටතේ මොහුගේ මේ ක්‍රියාකලාපය සහ ප්‍රකාශයට එරෙහිව මෙවර මැතිවරණයට තරග වදින අපේක්ෂකයෙකුට යටත් නීති මත පදනම්ව ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

මෙයට විශ්වාසී,

පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්ථවිර
සභාපති,

ජාතික විද්වත් සංඝ සභාව

පිටපත් – 1. මහාචාර්ය රත්නජීවන් එච් හූල් මහතා, සාමාජික, මැතිවරණ කොමිෂන් සභාව
2. එන්.ජේ. අබේසේකර මහතා, සාමාජික, මැතිවරණ කොමිෂන් සභාව
3. සමන් ශ්‍රී රත්නායක මහතා, මැතිවරණ කොමසාරිස් ජනරාල්, මැතිවරණ මහලේකම්
කාර්යාලය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස