කරුණා අම්මාන් පිල්ලෙයාන් හිස්බුල්ලා අන්තවාදියෝ! හිස්බුල්ලා ඡන්දේ ඉල්ලන්නේ සජිත්ගේ ඡන්ද කඩන්නයි! – මුජිබර් රහුමාන්

October 14, 2019 at 10:33 pm | by emanisa.lk

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත්තේ රාජපක්ෂවරුන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් අනුව බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් පවසයි.

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබීමට නියමිත ප‍්‍රගතිශීලි මුස්ලිම් ඡන්ද වැළැක්වීම මෙහි අරමුණ බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (14) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මෙසේද කීවේය.

‘‘නව ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට ලැබෙන මුස්ලිම් ඡන්ද වැළැක්වීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ එක්ව එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් කර තිබෙනවා.

පසුගිය කාල සීමාව තුළ මුස්ලිම් ජාතිකයන් අන්තවාදය දෙසට ගෙන ගිය හිස්බුල්ලා ගෝඨාභය රාජපක්ෂගේ සහයට ඉදිරිපත්වී සිටිම ගැන උපවාස කළ අතුරලියේ රතන හිමියන් හා විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත‍්‍රීවරුන්ගේ ස්ථාවරය රටට හෙළි කළ යුතුයි. හිස්බුල්ලා, කරුණා අම්මාන්, පිල්ලෙයාන් ඇතුළු අන්තවාදී හා ජාතිවාදී කොටස් පමණක් ගොඨාභය රාජපක්ෂ සමඟ එක්ව සිටිනවා. ඔවුන් බලයට පැමිණියහොත් රට තුළ අන්තවාදි හා ජාතිවාදී ගැටුම් යළි ඇතිවිය හැකියි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වී සිටින ඇතැම් අපේක්ෂකයින් තවත් අපේක්ෂකයින්ගේ සහයට ඉදිරිපත්වී සිටින බව පැහැදිලියි. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා ඉදිරිපත්වී සිටින්නෙ ජනාධිපතිවරණය දිනන්න බලාගෙන නෙමෙයි. මෙවැනි මැතිවරණයකට ඉදිරිපත්වී ජයග‍්‍රහණය කළ නොහැකි බව 1989 සිට පාර්ලිමේන්තුවේ සිටි ඔහු දන්නවා.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු මහින්ද රාජපක්ෂට සහය දුන්නා. ජනාධිපතිවරයා විසින් ඔහු නැගෙනහිර ආණ්ඩුකාරධූරයට පත් කළ පසුයි වත්මන් ආණ්ඩුවට අවාසිදායක ලෙස ඔහු හැසිරුණා. ප‍්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂට හෝ ගොඨාභය රාජපක්ෂට විරුද්ධව ඔහු කිසිදු අවස්ථාවක අදහස් පළකළේ නැහැ. දැන් කියනවා මුස්ලිම් ජනතාව වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත්වූ බව.

විශ්වවිද්‍යාලයක් හදන්න කියා පිටරටින් මුදල් ගෙන්වාගත් බවට ඔහුට විරුද්ධව චෝදනාවක් තිබෙනවා. ඒවායෙන් ගැලවෙන්න බැසිල් රාජපක්ෂ එක්ක එකඟතාවයකට ආවාද කියන සැකය ඇතිවෙනවා. ඒ ගිවිසුම මොකද්ද කියලා රටට හෙළිකළ යුතුයි. මුස්ලිම් ඡන්ද 15,000ක් තියාගෙන ඔහු නටන නාඩගම මොකද්ද කියලා කිව යුතුයි.

ජාතිවාදී ප‍්‍රශ්නයක් රට තුළ නිර්මාණය කරන්න බැසිල්, කරුණා, පිල්ලෙයාන්, හිස්බුල්ලා ගහපු ගිවිසුම හෙළි කළ යුතුයි. මොවුන්ට තියෙන එකම අරමුණ ජාතීන් අතර වෛරය ඇතිකරලා ඡන්ද ලබාගැනීම පමණයි. පසුගිය කාලය පුරාවට මොවුන් සිදුකළේ එය පමණයි. පසුගිය කාලයේදී රතන හිමියන් හිස්බුල්ලාට විරුද්ධව උපවාස කළේ එකඟතාවකින්ද කියන සැකය ඇතිවෙනවා. මොවුන් සියලුදෙනා දැන් ඉන්නේ එකම වේදිකාවේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස