හමුදා සෙබළු කොටි සංවිධානය මැරූ බවයි මම කීවේ! අලිමංකඩ සටනට මම ගියෙත් නෑ! ඒකට නායකත්වය දුන්නේ බානු! – කරුණා

June 26, 2020 at 10:17 am | by emanisa.lk

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් අද ප්‍රකාශ ලබා දී තිබේ.

ඒ ඔහු එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකුව සිටි සමයේදී හමුදා සෙබළු 2000ක් 3000ක් පමණ ඝාතනය කළ බවට ඔහු විසින් පසුගියදා මාධ්‍ය වෙත කරනු ලැබූ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහාය.

රහස් පොලිසියට ලබාදුන් ප්‍රකාශයේදී කරුණා අම්මාන් පවසා ඇත්තේ අලිමංකඩ එල්ටීටීඊ මෙහෙයුමට තමන් නොගිය බවය.

තමා විසින් මඩකලපුවේ දේශපාලන වේදිකාවක කියා සිටියේ “මම කළා” කියා නොව “අප කළා” යනුවෙන් බව කරුණා අම්මාන් පවසා තිබේ.

අලිමංකඩ මෙහෙයුමට නායකත්වය දී ඇත්තේ බානු නැමැත්තා බවත් ඔහු මියගොස් ඇති බවත් කරුණා අම්මාන් මහතා මෙහිදී පවසා ඇත.

කරුණා අම්මාන් කොරෝනාවලටත් වඩා භයානක මිනිසෙක් බවට ප්‍රාදේශීය දේශපාලකයකු විසින් කරන ලද ප්‍රකාශයට පිළිතුරක් ලෙස තමා දේශපාලන ප්‍රකාශයක් අයුරින් “අප අලිමංකඩ දී හමුදාවේ සෙබළු 2000ක් 3000ක් ඝාතනය කළ බව” පැවසූයේ යැයි කරුණා අම්මාන් වැඩි දුරටත් රහස් පොලිසිය හමුවේ පවසා ඇත.

මෙම ප්‍රකාශය පටිගත කරන ලද සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ප්‍රාදේශීය පුවත් නාලිකාවකින් මුල් පිටපත ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කොට තිබිණි.

එම වීඩියෝ දර්ශනය හා මෙම ප්‍රකාශය සලකා බැලීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.

සිය ප්‍රකාශය රහස් පොලිසියට ලබා දීමෙන් පසු කරුණා අම්මාන් මාධ්‍ය වෙත සඳහන් කළේ තමන් ශ්‍රී ලංකා හමුදාව කිසි විටෙකත් අවතක්සේරු නොකරන බවත් එය බොහෝ ආපදා කටයුතුවල දී එඩිතර ලෙස කටයුතු කරන හමුදාවක් බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස