බුර්කාව ඇඳීම මූලික මානව අයිතියක්! ඒ අයිතිය අහිමි කරන්න කිසිවෙකුට බෑ! – මුජිබර් රහුමාන්

February 22, 2020 at 7:31 am | by emanisa.lk

බුර්කාව වැනි මුහුණු ආවරණ මෙරට තුළ තහනම් කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට යෝජනා කර ඇත.

කෙසේ වුවද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසන්නේ තමන්ට කැමති ඇඳුමක් ඇඳීම මූලික අයිතිවාසිකමක් බවත් එම අයිතිය කිසිවෙකුට උල්ලංඝනය කළ නොහැකි බවත්ය.

මුස්ලිම් කාන්තාවගේ මුහුණු ආවරණ කෙරෙන බුර්කාව සහ නිකාබ්  ඇඳුම් මැදපෙරදිග මුල් කරගනිමින් නිර්මාණය වූ බව ඉතිහාසයේ සඳහන්ය.

වැලි සුළං ගහණ කාන්තාර ප්‍රදේශ මැදපෙරදිග වැඩි වශයෙන් පැවතීම නිසා එම කාන්තාවන් මෙලෙස මුහුණු ආවරණ සහිත ඇඳුම් භාවිතයට පෙළඹුණු නමුත් ඉන් වෙනස්ම දේශගුණික රටාවක් පවතින ශ්‍රී ලංකාව වැනි රටවලද බුර්කාව ඇතුළු මුහුණු ආවරණ පැළඳි මුස්ලිම් කතුන් මෑතක සිට වැඩි වශයෙන් දක්නට ලැබුණි.

බුර්කාව පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමුවූයේ පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු දින ප්‍රහාරයත් සමඟයි.

එකවිට අනෙකාගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි වීම නිසා ගැටලු මතුවූ අවස්ථා රැසක් ද එවක දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා විය.

ඒ අනුව නිකාබ් සහ බුර්කාව වැනි මුහුණු ආවරණ මෙරට තුළ තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් ඉකුත් අප්‍රේල් 29 වැනිදා නිකුත් කෙරුණු අතර එවැනි ඇඳුම් පැළද වෙළඳසැල් තුළට, පොදු ස්ථානවලට මෙන්ම ප්‍රවාහන සේවාවලටද ඇතුළුවීම තහනම් කරනු ලැබුවේය.

කෙසේ වෙතත් අදාළ තහනම 2019 සැප්තැම්බර් 21 වැනිදා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ඉවත් කිරීමෙන් පසුව අහෝසි විය.

ප්‍රංශය, ඩෙන්මාර්කය, බෙල්ජියම, ඕස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල් 15ක මේ වන විටත් බුර්කාව තහනම් කර ඇත.

ඒ අදාළ රටවල ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට විසඳුමක් ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස