ප්‍රහාරයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව අසරණ වීම ගැන කනගාටුයි! ගෝඨා බුද්ධි අංශ කියලා 26 දෙනෙකුට වැටුප් ගෙවලා අන්තවාදය පෝෂණය කළා! – ආණ්ඩුව නැවතත් බුද්ධි අංශ පාවා දීමට සූදානම් බව රාජිතගේ මුවෙන් පිටවෙයි…..

April 30, 2019 at 8:33 pm | by admin

ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ තවුහිද් ජමාත් ඇතුළු සියලු අන්තවාදී සංවිධානවලට සහාය ලබා දී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ අද (30) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ලවීම සමග එහි වගකීම අපි බාර ගත්තා. වගකීමෙන් පැන යන්නේ නැහැ. ISS ත්‍රස්තවාදීන් ඇමරිකා එක්සත් ජනපදය ඇතුලු රටවල් රැසකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. තවුහිත් ජමාත්, බොදුබල සේනා වැනි සංවිධානවලට හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ කාලයේ දි සහයෝගය ලැබුණා.

මඩකළපුව වවුනතිව් පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරින් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අබ්දුල් රාසික් නැමැති සැකකරුට බුද්ධි අංශ වැටුප් ගෙවා තිබෙනවා. ඒ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ කාලයේ දී. එලෙස වැටුප් ගෙවූ 26 දෙනෙකු සිටිනවා.

2013 වසරේ මැයි මස 13 දින අකුරණ ප්‍රදේශයේ විද්‍යාලයක් නීතිගත කර තිබෙනවා. විධිමත් බුද්ධි අංශයක් තිබුණා නම් මෙවැනි සංවිධාන බිහි වන විට අවධානය යොමු කරන්න තිබුණා.

ෂරියා නීතිය යටතේ 2011-2012 වසරවල දී විද්‍යාල නීතිගත කර තිබෙනවා. ෂරීයා නීතිය ගැසට් මගින් ප්‍රකාශයට පත් කළේ ද 2013 වසරේ අප්‍රේල් මස 19 වනදායි. ඉස්ලාමීය දේව ධර්මය ප්‍රචලිත කිරීම එහි අරමුණ වී තිබෙනවා. ශ්‍රී ලංකාව තුල ෂරීයා නීතිය යටතේ දේවස්ථාන 200 ක් 2015 වසරට පෙර ඉදිකර තිබෙනවා. 2015 වසරෙන් පසු ෂරීයා නීතිය යටතේ කිසිදු දේවස්ථානයක් ඉදිකර නැහැ. රැඩිකල් ඉස්ලාමීය අන්තවාදීන් නීතිගත කිරීමේ පියා තමයි ගෝටාභය රාජපක්ෂ මහතා.

නමුත් ඒ කාලයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානියා තමයි කපිල හෙන්දාවිතාරණ ඔහු දැන් සැංග්‍රීලා හෝටලයේ ප්‍රධාන ආරක්ෂක මෙහෙයුම් නිලධාරියා. බෝම්බ දෙකක් පත්තුවෙන තුරු ඔහු හිටියේ කොහේ ද, ශැංග්‍රීලා හෝටලය ආරක්ෂා කර ගන්න බැරි එවැනි නිලධාරීන් රට ආරක්ෂා කරන්නේ කොහොමද?

මේ වනවිට ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා මැඩපවත්වා තිබෙනවා. නායකයන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැටලීම් සහ පරීක්ෂණ දිගින් දිගටම සිදු කරනවා. මෙම ප්‍රහාර නිසා දේවස්ථාන විනාශයට පත් වුණා. බුර්කාව, ත්‍රස්තවාදී සංවිධාන ජනාධිපතිවරයා තහනම් කර තිබෙනවා. මෙම ප්‍රහාරයත් සමග සාමාන්‍ය මුස්ලිම් ජනතාව ද කනගාටුවට මෙන්ම අසරණභාවයට ද පත්ව සිටිනවා. ඒ ගැන කනගාටුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස