පාස්කු ප්‍රහාරයෙන් පසු දළදා මාළිගාවට ගහන්න සැලසුම් කරලා! ප්‍රහාරය ආසන්නයේ සහරාන්ලා දෙකට බෙදුණේ බුද්ධි අංශ නොමග යවන්න!

April 20, 2020 at 8:40 am | by emanisa.lk

2019 වසරේ පාස්කු ඉරු දින ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු දෙවන ප‍්‍රහාරයක් සිදු කිරීමේ සැලසුමක් ද තිබී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න පවසයි. මේ අනුව පළමු බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් පසු යම් කිසි දිනකදී නැවත දෙවන බෝම්බ ප‍්‍රහාර මාලාවක් සිදු කිරීම සඳහා සැලසුම් කර ඇති බව ද ඔහු ඊයේ (19) කීවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ලද පරීක්ෂණ අනුව ඒ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

දළදා මාළිගාවට සහ තවත් ස්ථානයකට එල්ල කිරීමට සැලසුම් කළ එම දෙවන පෙළ ප‍්‍රහාරය ව්‍යර්ථ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට හැකි වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

සහරාන් සිටි කාලයේම මේ ප‍්‍රහාරය සිදු කිරීම සඳහා දෙවන පෙළ කණ්ඩායමක් ද සූදානම් කර ඇති බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇති බව ද ඔහු ඊයේ පැවසීය.

එසේම සහරාන්ගේ කණ්ඩායම දෙකට බෙදී පසුව ප‍්‍රහාර ක්‍රියාත්මක කර ඇත්තේ එක් කණ්ඩායමක් බව ද මේ බෙදීම හුවා දක්වා ඇත්තේ බුද්ධි අංශ නොමග යැවීම සඳහා බව ද ඔහු පැවසීය.

එසේම දකුණු ආසියානු රටක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර මෙරටට පැමිණ සැඟවී සිටින්නට සහ ඔවුන්ට ආරක්ෂාව ලබා දීමට ද මොවුන් සැලසුම් කර ඇතැයි ද එහිදී අනාවරණය කෙරිණි.

නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු සිය සේවාදායකයකු සමග කළ දුරකථන ඇමතුමක් නිසා නොවන බවත් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණ මගින් අනාවරණය වූ තොරතුරු සහ දුරකථන විශ්ලේෂණ රැසක් එකතු කර ගැනීම මත බවත් මාධ්‍යවේදීන් අසන ලද ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න අනාවරණය කළේය.

එම අත්අඩංගුවට ගැනීම ප‍්‍රමාණවත් සාක්ෂි සහ කරුණු ඇතිව සිදු කළ බව ද දැනට අත්අඩංගුවට ගත් අය අතර යම් යම් සංවිධාන ඇති කර ඊට නායකත්වය දෙමින් කටයුතු කළ තැනැත්තන් සිටින බව ද ඔවුන් මේ අන්තවාදය පැතිරවීම සඳහා සහ ඉස්ලාම් ධර්මය වැරදි ආකාරයට අර්ථ නිරුපණය කරමින් යම් යම් තරුණ කණ්ඩායම් නොමග යැවීම සඳහා කටයුතු කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බව ද ඔහු හෙළිදරව් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස