පන්සලේ ඇබිත්තයාත් අල්ලාගෙන ගිහින් කූඩුවේ දාපු පොලිසිය ගැන අපට විශ්වාසයක් නැහැ.- නීතිඥ තුෂාර දිසානායක

May 22, 2019 at 4:46 pm | by admin

බෙදුම්වාදීන්ට ත්‍රස්තවාදීන්ට ක්‍රියාත්මක කළ යුතු නීති ආණ්ඩු වීරෝධී බලවේග මර්දනයට යොදා ගන්නා පොලිසිය පිළිබඳ කිසිදු විශ්වාසයක් තමා තුළ නොමැති බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා පවසයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද පැවසීය.

මිනුවන්ගොඩ සිදුවු ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාල ප්‍රශ්න කිරීම් වලට කැදවනු ලැබු පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද පොලිසිය මගහරමින් සිිටින බවට පොලීසිය ප්‍රකාශ කරන බවට පසුගියදා විද්‍යුත් හා මෘදිත මාධ්‍ය වාර්තා කොට තිබුනා. රජයේ මාධ්‍ය මේ අතරින් විශේෂයි. රජයේ පුවත් පත් වල මුල් පිටුවේ මෙය වාර්තා කලා.

2019.05.13 වන දින දිවුලපිටිය ප්‍රදේශයේ සිටි නාලක නම් හිතවතකෙකුගෙන් මධුමාධව අරවින්ද මහතාට දුරකතන ඇමතුමක් ලැබෙනවා. ඒ ප.ව 12.30 ට පමණ . එකී දුරකතන ඇමතුම පටිගතව අප සතුව තිබෙනවා. ඒ අනුව නාලක හමුවීම ප.ව 7.00 ට නාලකගේ කාර්යාලයේ දී යොදා ගන්නවා . රාගම පිහිටි මධුමාධව මහතාගේ නිවසේ සිට දිවුලපිටියට යන මාර්ගය වැටි ඇත්තේ මිනුවන්ගොඩ හරහා. තම හිතවතා හමුවීමට යන අතුරතුරේදි ප.ව 7.15 සිට 7.30 දක්වා කාලය තුල මිනුවන් ගොඩදි ඇතිවු අසාමාන්‍ය මාර්ග තදබදය නිසාවෙන් සිදුවුයේ කුමක්ද යැයි විමසීමට ඔහු ගමන් ගත් රථය මිනුවන්ගොඩ සංඛ සුපර් මාර්කට් අසල නවතා රථයේ ගමන් කල අය පාගමනින් ඉදිරියට ගමන් ගන්නවා. ඒ අවස්ථාවේ දී පොලිස් නිලධාරින් විසින් ඉදිරියේ මුස්ලිමි සිංහල ගැටුමක් පවතින බවත් ඒ දෙසට නොයන ලෙසත් දැන්වීමෙන් අනතුරුව මධුමාධව මහතා ආපසු හැරී තම රථය වෙත ගමන් ගන්නවා. එ් ආපසු හැරි ගමන් ගන්නා විඩියෝව තමා සමාජ ජාලා වෙබ් අඩවි වල හා පසුව මාධ්‍ය වල සංසරණය වුනේ. මධුමාධව මහතා මිනුවන්ගොඩ තම රථයෙන් බැස ආපසු තම රථයට ඒමට ගත කරන ලද්දේ විනාඩි 10 කටත් අඩු කාලයක් . ඉන් අනතුරුව මධුමාධව මහතා මිනුවන්ගොඩින් පොලීසිය ලබාදුන් මග පෙන්වීම අනුව තම හිතවතා වු නාලක හමුවිමට කලින් යොදාගත් පරිදි ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වෙත ගමන් ගන්නා අතර ඔහු එම ස්ථානයට පැමිණීමට හා පිටවීමට අදාල සී සී සි ටි වි දර්ශණ අප සතුව තිබෙනවා. අප ඒවා ඔබට දැන් ඉදිරිපත් කරණවා. මේ සී සී සි ටි වි දර්ශණ වලින් ඔබට පැහැදිලිව දැකගත හැකියි මධු මාධව මහතා පස්වරු 8.15 ට පමණ තමයි එම ව්‍යාපාරික ස්ථානයට එන්නේ. පස්වරු 8.43 ට පමණ තමයි එම ස්ථානයෙන් පිටත් වෙන්නේ. මේ සම්බන්ධව නාලක විසින් දිවුරුම් ප්‍රකාශයක්ද ලබාදී තිබෙනවා.

එසේම මධු මාධව අරවින්ද මහතාගේ දැනට මාධ්‍ය වල සංසරණය වන වීඩියෝව හැරෙන්නට එතුමා කිසියම් සාවද්‍ය ක්‍රියාවක නියැලෙන කිසිම වීඩියෝවක් හෝ තොරතුරක් නෑ කියන එක අපි වගකීමෙන් කියනවා. මේ සිදුවීම මධුමාධව අරවින්ද මහතා පසුදින මාධ්‍ය හමුවක දී අණාවරණය කලා. 2019.05.15 වන දින කැදවීමට අනුව මධුමාධව ප.ව 12.30 ට පමණ සිය නිතිඥවරුන් සමග ප්‍රකාශයක් ලබා දීමට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ගිය අතර ප.ව 3.30 පමණ වනතෙක් එහි රැදි සිටියා. එදින විමර්ශණ වලට අදාල ප්‍රකාශ ලබා ගැනීම නොකල බැවින් මධුමාධව මහතා මිනුවන්ගොඩ පොලිසියෙන් නික්ම ගියා . පොලීසිය කියන පරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ ගැටුම් වලට

කලබැගෑණිවලට වග කිවයුතු පුද්ගලයෙක් නම් මධු මාධව කියන්නේ අපි පොලීසියෙන් අහනවා පැය තුනක් ඔහු පොලීසියේ සිටියදී ඇයි ඔහුගෙන් ප්‍රකාශයක්වත් සටහන් කර නොගත්තේ කියලා. මේවා සිදු උනේ මාධ්‍ය ඉදිරියෙයි. දැන් පොලිසිය කියනවා ප්‍රශ්න කිරීමට කැදවූවත් මධු මාධව පොලීසියට ආවේ නෑ කියලා.

මිනුවන්ගොඩ සිද්ධියට අදාල පොලිසියේ සැබෑ මුහුණු වර හෙලිදරව් වුුයේ ඉන් අනතුරුවයි. මිනුවන්ගොඩ පොලිසිය අංක 92446 දරණ බී වාර්තාව මගින් අධිකරණයට කරුණු වාර්තා කරමින් මිනුවන්ගොඩ සිද්ධීයේ සැකකරුවන් යැයි පවසමින් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ICCPR පණතේ 3(1) වගන්තිය සමග කිවයුතු 3(3) වගන්තියට අනුව චෝදනා ගොනු විය යුතු බවට කරුනු දැක්වීම මත ඒ සියල්ල රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ආන්ඩුවේම මාධ්‍යය වලට අනුවම මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද අයගෙන් සමහරක් සිද්ධියට සම්බන්ධ නොවු අය බවට කරුනු අණාවරණය වුනා. අද ඔවුන් නිරපරාදේ රක්ෂීත බන්ධනාගාරගත කර ති‍බෙනවා. ICCPR පනතේ 3 වන වගන්තියේ යටතේ කරුණු වාර්තා කලහොත් ඇප ලබා ගත හැකි වන්නේ මහාධිකරණයෙන් වන අතර එය ද විශේෂ හේතු මත පමණයි. මේ සිද්ධියේ දී විහාරස්ථානයකට රැස් වි සිටි දායක සභාවද පන්සලේ චෛතයයේ හුණු පිරියම් කරන්නට ආ කම්කරුවන් ද නායක ස්වාමින් වහන්සේ හමුවීමට ආ උන්වහන්සේගේ සොහොයුරාද පන්සලේ ඇබිත්තයා ද අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් සියල්ලෝම අද ඉන්නේ රක්ෂිත බන්ධනාගාර ගතව. ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරයකු වු එඩ්වඩ් ගුණසේකර මහතා ප්‍රසිද්ධියේ මාධ්‍යට කියා සිටියේ මිනුවන්ගොඩ සිද්ධීයට මධුමාධව අත්අඩංගුවට ගත යුතු බවයි. පසුගිය ඉරිදා සිළුමිණ මුල් පුවත ඔස්සේ අණාවරණය කල තොරතුරු සිඅයිඩි හා පොලිසිය මධුමාධව අත්අඩංගුවට ගැනීමේ කතන්දරය හෙළි කලා. එ් අනුව මිනුවන්ගොඩ සිද්ධිය සදහා අභූත චෝදනා නගමින් මධුමාධව අත්අඩංගුවට ගැනීමටත් ඒ අනුව විපක්ෂය මේ ගැටුම් මෙහෙය වීම පිටුපස සිටින්නේ යැයි චෝදනා එල්ල කිරීමටත් ආණ්ඩුව පැහැදිලි උත්සහයක් තිබෙනවා.

එම ගැටුම සිදු වන අවස්ථාවේ එතන සිටි බවට අණාවරණය වූ චමින්ද සිල්වා පළාත් සභා මන්ත්‍රී වරයාද එඩ්වඩ් ගුණසේකර නියෝජ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම තබා ප්‍රකාශයක් හෝ ලබා ගෙන නැහැ.

දිගන සිද්ධියට සම්බන්ධ කිසිවෙකුටත් නඩු පවරා නැත. එම සිද්ධියේ ඇත්ත අපරාධ කරුවන්ට පැණ යන්නට ඉඩ දී අල්ලා ගත්තේ සිද්ධීයට කිසිම සම්බන්ධතාවයක් නැති අහිංසකයන්. හලාවතින් දිගනට වැඩම කරපු ආරච්චි කුඹුරේ සෝභිත හාමුදුරුවන්ට ගෙදර යෑමට බස් එකක් නැතිව අමිත් වීරසිංහගේ ගෙදර නතර වුනා. අවසානයේ එහිදී අත්අඩංගුවට අරගත් හාමුදුරුවෝ මාස 08 කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකරලා. එල්ටීටී ය යලි ඉපැද්දවිය යුතු යැයි කිවු විජයකලාට, රට කෑලි 04 කට කඩනවායැයි කිවු සිවාජිලිංගම්ට, මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ යැයි කියමින් බෞද්ධ ජනතාව ප්‍රකෝප කිරීම කල මංගල සමරවිරට පමණක් නොව පාස්කු ප්‍රහාරයේ බෝම්බ නිපද වූ තඹ කම්හලේ සේවකයන් 09 දෙනාටත් ICCPR පනත යටතේ නඩු පවරා නැත. සමහර පැමිණීලි විභාග කොට පවා නැත. ICCPR පනත අද යොදා ගනිමින් තිබෙන්නේ විපක්ෂය හා ආණ්ඩු විරෝධි බලවේග මර්ධනය කිරීමට පමණි. ඉදිරියේ රටේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතයි. මෙවැනි අවස්ථාවක විපක්ෂයේ ක්‍රියාධරයන් නායකයන් මධු මාධවද ඇතුළුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධණාගාර ගත කිරීම අද ආණ්ඩුවේ ප්‍රධානතම ප්‍රයත්නයක් වී තිබෙනා. ආණ්ඩුවේ මෙම මරඋගුලේ දැන දැනම හසුවීමට අපේ සුදානමක් නැහැ. ඒ අනුව මධුමාධව අරවින්ද මහතා නීති විරෝධීව අත්අඩංගුවට ගෙන රදවා තබා ගැනීමටත් නඩු පැවරීමටත් එරෙහිව මුලික අයිතිවාසිකම් නඩු කරයක් පැනවීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා ඔහු නීතිවිරෝධිව අත්අඩංගුවට ගැනීම වලක්වාලීමේ නියෝගයක් ලබා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේ විත්ති වාචිකය ශ්‍රේෂ්ඨාධිකරණයට වෙත ඉදිරිපත් කරනවා. පොලිසිය ක්‍රියා කරණ ආකාරය ගැන අපට විශ්වාසයක් නැහැ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස