නිලධාරිවාදය සහ අනවශ්‍ය නීති ලිහිල් කර ආයෝජන ප්‍රවර්ධනය කළ යුතුයි! – ජනපති

February 16, 2020 at 3:49 pm | by emanisa.lk

නිලධාරීවාදය සහ අධික රෙගුලාසි පිටුදැක දෙස් – විදෙස් ආයෝජන ප්‍රවර්ධනයට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නීතීඥ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ ඊයේ (16) මීගමුවේ පැවති ජාතික නීති සම්මේලනය අමතමිනි.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ අනවශ්‍ය නිලධාරීවාදය සහ අධික රෙගුලාසි ඉවත් කර දේශීය ව්‍යවසායකයින්ට සහ විදේශීය ආයෝජකයන්ට රටේ නව ව්‍යාපාර ඇති කිරීමේ අවස්ථාව පුළුල් කළ යුතු බවය.

එමගින් ව්‍යාපාරවලට පහසුකම් සැලසිය හැකි සරල, කාර්යක්ෂම හා විධිමත් ව්‍යුහයක් ඇති කිරීමට හැකි වනු ඇති බව ජනාධිපතිවරයා ජාතික නීති සම්මේලනය අමතමින් සඳහන් කළේය.

පුළුල් ක්ෂේත්‍ර රැසක් ඔස්සේ වේගයෙන් දියුණු වන තාක්ෂණික ක්‍රමවේද, ගෝලීය, වාණිජ සහ කර්මාන්තවල විශාල පරිවර්තනයක් ඇති වෙමින් තිබේ. එම පරිවර්තනය සමග ශ්‍රී ලංකාව ද ඉදිරියට ගමන් කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වත්මන් රජය තොරතුරු තාක්ෂණ අංශයේ සමාගම්වලට සැලකිය යුතු බදු සහන මේ වනවිටත් ලබා දී තිබේ. ක්ෂේත්‍රයේ ආයෝජනයට සහ වැඩි රැකියා අවස්ථා නිර්මාණයට දේශීය සහ විදේශීය සමාගම් දිරි ගැන්වීමට රජය ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. රට තුළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ දී කාර්යක්ෂමතාව සහ නීතියේ පිහිට පැතීමේදී දැරිය හැකි මිල පිළිබඳව ද සැලකිල්ලට ගත යුතු කාලය එළඹ තිබේ.

රටේ සාමාන්‍ය ජනතාවට ඔවුන්ගේ ආරවුල් කඩිනමින් පහසුවෙන් සහ දැරිය හැකි මිලකට විසඳා ගැනීමට අවස්ථාව තිබිය යුතු බව ද ජාතික නීති සම්මේලනය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය ලෝකයේ වඩා හොඳ ස්ථානයකට පත් කිරීමට අධිකරණය, රජය සහ නීති ක්ෂේත්‍රය එක්ව පූර්ණ විසඳුමක් ඉදිරිපත් කිරිමට කාලය එළඹ ඇතැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස