අඹේවල කිරිපැකට් ලක්ෂයක් කල්ඉකුත් වන තුරු ලොරිවල හංගලා! අලුත් මිල්කෝ සභාපති වහා සොයා බැලිය යුතු හෙණ වදින අපරාධයක් මෙන්න!

January 18, 2020 at 10:25 pm | by emanisa.lk

මිල්කෝ සමාගමට අයත් අඹේවෙල කම්හල් භූමියේ කල් ඉකුත්වූ හා නොබෝ දිනකින් කල් ඉකුත්වීමට නියමිත දියර කිරි පැකට් එක්ලක්ෂ තුන්දහසක් සහිත ලොරි 11ක් තිබෙන බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න හෙළිදරව් කරයි. කල් ඉකුත් වීම මත මින් එක් ලොරියක් දැනටමත් සීල් තබා ඇති අතර ඉතිරි ලොරිවල අඩංගු කිරිද පෙබරවාරි මාසය වන විට කල් ඉකුත් වීමට නියමිත යැයි ඔහු සඳහන් කළේය.

කල් තබාගත හැකි දියර කිරි පැකට්ටු සෑදීමේ පහසුකම් දේශීය කර්මාන්ත ශාලාවල නොමැති හෙයින් එම කාර්යය බාර දී ඇත්තේ මෙරට ඇති ඉන්දියානු සමාගමක් වන “ටියුනිප් ලංකා” නමැති ආයතනයටය. එම කිරිපැකට්ටුවක් අලෙවි කරනුයේ රුපියල් 200කටය. එක් කිරි පැකට්ටුවක් සඳහා මිල්කෝ ආයතනය රුපියල් 130ක් පමණ වැය කරන අතර මෙම පැකට්ටුවක කල් ඉකුත් වීමේ කාලය සය මසකි.

කල් තබාගත හැකි දියර කිරි සැකසීම සඳහා පසුගිය කාලයේ මිල්කෝ ආයතනය මෙම සමාගම වෙත විශාල කිරි ලීටර ප්‍රමාණයක් ලබා දී තිබිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කරන නාමල් කරුණාරත්න මහතා,

“මෙම කිරි පැකට් කිරීම සඳහා ඉන්දියානු ආයතනයට ලබා දී තිබෙන්නේ පසුගිය අගෝස්තු මාසයේ. කල් ඉකුත් වූ ලොරියේ ඇත්තේ අගෝස්තු මාසයටත් පෙර යැවූ කිරි. ඉතිරි ලොරිවල ඇති කිරිද පෙබරවාරි මාසයේ කල් ඉකුත් වීමට නියමිතයි. ඉන්දියානු සමාගම නියමිත වෙලාවට මෙම කිරි පැකට් නොසැපයූ හෙයින් හා මිල්කෝ ආයතනය ඒවා නියමිත දිනවල ගෙන්වා ගැනීමට කටයුතු නොකිරීම නිසා මෙම තත්ත්වය උද්ගතවී තිබෙනවා. කල් ඉකුත්වීම නිසා මෙම කිරි වෙළඳ පොළට දැමිය නොහැකියි. ඒවා ඉවත දැමීමටද නොහැකියි. විගණනයේදී මෙම නාස්තිය හසුවන බැවින් මෙම දියර කිරි ලොරිවල පටවා පිටි කිරි නිෂ්පාදනය සඳහා අඹේවෙල කර්මාන්ත ශාලාවට එවා තිබෙනවා. අපි මෙය හෙළිදරව් නොකළා නම් මිල්කෝ ආයතනය නොබෝ දිනකින් කල් ඉකුත්වීමට නියමිත මෙම දියර කිරි සියල්ලම පිටිකිරි බවට පත් කොට වෙළෙඳ පොළට එවනවා. එතකොට අපේ දරුවො බොන්නේ කල් ඉකුත් වූ කිරිවලින් තැනූ පිටිකිරි.

මිල්කෝ ආයතනය අනවශ්‍ය පරිදි විශාල කිරි ප්‍රමාණයක් ටියුනිප් ලංකා ආයතනයට ලබා දී ඇත්තේ එහි ප්‍රධානීන්ට 10% කොමිස් මුදලක් ලැබෙන හෙයින් යැයි අපට අනාවරණ වී තිබෙනවා. මිල්කෝ ආයතනයට දිනකට ලැබෙන කිරි ප්‍රමාණය අවම වී ඇති පසුබිමක ඒවා වෙනත් නිෂ්පාදන සඳහා නොගෙන අති විශාල කිරි ලීටර් ප්‍රමාණයක් ඉන්දියානු සමාගම වෙත යැවීමේ රහස එය බව අපට දැනගන්නට ලැබුණා. එය ජාතික අපරාධයක්. මෙය සිදු වුණේ පසුගිය ආණ්ඩුව කාලේ. අප මෙය හෙළිදරව් කරන තෙක් අලුත් ආණ්ඩුවත් මේ ගැන කිසිවක් හෙළිදරව් කළේ නැහැ. ඒ ඇයි? මේ දෙගොල්ලොම මේක ඇතුලේ කරන්නේ බිස්නස් එකක් යැයි”

කලින් කිරි ගොවීන් විශාල සංඛ්‍යාවක් මිල්කෝ ආයතනයට කිරි සැපයූහ. එහෙත් අද වන විට එය දිනකට කිරි ලීටර් එක්ලක්ෂ දහතුන් දාහත් ,එක්ලක්ෂ විසිදාහක් අතර ප්‍රමාණයකට පහළ බැස තිබේ. “පහුගිය කාලයේ ගොවීන් මිල්කෝ ආයතනයට කිරි ලබා දීම අඩු කළා . ඊට හේතුව මිල්කෝ ආයතනය නියමිත වෙලාවට ගොවීන්ට මුදල් නොගෙවීමයි. මිල්කෝ එක කිරි ගොවීන් මුදල් ගෙව්වේ දෙසතියකට වරක්. එයට කිව්වේ “කිරි පඩිය” කියලා. පසුගිය සමයේ මාස එකහමාරකට වරක් හෝ එම මුදල් ගෙව්වේ නැහැ. ප්‍රමාද වෙලත් සියලු සියලුම හිඟ මුදල් ගෙව්වෙත් නැහැ. තම හිඟ කිරි පඩිය ලබා දෙන ලෙස ඉල්ලා කිරි ගොවියෝ උද්ඝෝෂණ කළා. එහෙත් නිසි පරිදි මුදල් ගෙවීම සිදු නොවූ හෙයින් ගොවීන් මිල්කෝ සමාගමට කිරි සැපයීමෙන් වැළකුණා. ඔවුන් දැන් නෙස්ලේ, කාගිල්ස් ඇන්කර්, පැල්වත්ත වැනි සමාගම්වලට ලබා දෙනවා.” ඔහු කියයි.

දැනට මිල්කෝ සමාගම සතුව අඹේවෙල ඇති කර්මාන්ත ශාලාවේ දිනකට කිරි ලීටර් ලක්ෂ 4 ක පමණ ප්‍රමාණයක් සැකසුම් කළ හැකිය. පොළොන්නරැව කර්මාන්ත ශාලාවේ දිනකට කිරි ලීටර් 60,000ක්ද, දිගන කම්හලේ කිරි ලීටර් 50,000ක් ද කොළඹ කම්හලේ කිරිලීටර් 50,000කට ආසන්න ප්‍රමාණයක් සැකසිය හැකිය. අඹේවෙල කම්හලේ පිටි කිරි, යෝගට්, චීස්, බටර්, ගිතෙල් සෑදීම හා දියර කිරි පැකට් කිරීම කල්කිරි නිෂ්පාදනය, වැනි නිෂ්පාදන සිදු කෙරේ.

මේ අතර රුපියල් කෝටි 50ක් පමණ වටිනා මිනිස් පරිභෝජනයට නුසුදුසු පිටි කිරි තොගයක්ද අඹේවෙල මිල්කෝ කර්මාන්තශාලාවේ කාමරයක ගොඩගසා ඇතැයි එහි කළමනාකාරවරයා මාධ්‍යයට සඳහන් කර තිබේ. මෙම පැකට්වල අන්තර්ගත වන්නේ 2017 වසරේ ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද දියර කිරිවලින් සකස් කළ පිටිකිරිය. දියර කිරි පිටි බවට පත්කිරීමේදී සිදුවී ඇති දෝෂයක් හේතුවෙන් ඒවා පරිභෝජනයට නුසුදුසු වූ හෙයින් වෙළෙඳ පොළට නිකුත් කිරීම වළක්වා ඇතැයි මිල්කෝ සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කර තිබේ.

අලුතින් සවිකරන ලද පිටිකිරි නිෂ්පාදන යන්ත්‍රය අත්හදා බැලීමේදී ඇති වූ අසාමාන්‍ය තත්ත්වයක් මත එම පිටි කිරි භාවිතයට ගැනීමට නොහැකි වී ඇතැයි ඔහු කියයි. මේ සම්බන්ධයෙන් සඳහන් කරන නාමල් කරුණාරත්න මහතා
“මේ වනවිට අඹේවෙල මිල්කෝ ආයතනයේ පිටිකිරි ටොන් 500ක් තියෙනවා. මේවා මිනිස් පරිභෝජනයට තබා සත්ත්ව ආහාර සඳහාවත් නුසුදුසුයි. මේවා වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානමින් සිටියත් අපි ඒ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම නිසා එම ප්‍රයත්නය වැළකී ගියා. මෙම පිටිකිරි මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත්වුණේ තමන්ට ලැබුණු දියර කිරි තත්ත්වයෙන් බාල නිසා යැයි ඔවුන් කියනවා. කම්හලට ලැබෙන සියලු කිරි තත්ත්ව පරීක්ෂණයකට ලක් කරනවා. ඒ සඳහා වෙනම ආයතනයක් තියෙනවා. ගොවීන්ගෙන් කිරි මිලට ගැනීමේදීත් පරීක්ෂා කරන අතර බවුසරවලට කිරි නරක් නොවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරනවා. මෙම කිරි නුසුදුසු තත්ත්වයක තිබේනම් නිසි පරිදි පරීක්ෂා කිරීමෙන් තොරවද ඒවා ගත්තේ කියන ගැටලුව ඇති වෙනවා. අද මිල්කෝ ආයතනයේ නිසි කළමනාකරණයක්, නියාමනයක් නැති බව පැහැදිලියි.”

කිරිවල, මේදය 4% ක්ද, මේද නොවන ඝන ද්‍රව්‍ය වන ප්‍රෝටීන්, ලැක්ටෝස්, සීනි, විටමින් හා ඛනිජ 8.5% ක්ද, ජලය 87.5% ක්ද පවතී. දියර කිරි ලීටර් ලක්ෂයක ජලය ලීටර 87,500ක් පමණ අන්තර්ගතව ඇති අතර ජලය ඉවත් කිරීමෙන් පසු පිටි කිරි නිපදවීම සඳහා යොදා ගැනෙනුයේ ඉතිරි ලීටර 12,500ය.

ආනයනික පිටිකිරිවලින් ලෙඩරෝග 21 ඇතිවන බවත්, පාරිභෝගික අධිකාරිය මගින් පත්කළ විද්වත් කමිටු වාර්තාව අනුව ආනයනික කිරිපිටි යනු අධි අවදානම් ආහාර කාණ්ඩයක් බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කර තිබේ. අද වෙළෙඳපොලේ වැඩියෙන්ම ඇත්තේ විදේශවලින් ගෙන්වන කිරිපිටිය. දේශීය පිටිකිරි ලෙස අඹේවෙල හයිලන්ඩ් කිරි සහ පැල්වත්ත කිරිවලට වැඩි නැඹුරැවක් ඇති වූයේ විදේශීය කිරිවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ඇතැම් ද්‍රව්‍ය අන්තර්ගතව ඇතැයි ප්‍රචාරය වීමත් සමඟිනි. එහෙයින් ජනතාව දේශීයව නිපදවන දියර කිරි සහ පිටිකිරිවලට යොමුවීමේ ප්‍රවණතාවක් දැකිය හැකි විය. එහෙත් ඉල්ලුමට සරිලන සැපයුමක් තිබුණේ නැත. දේශීයව නිපදවන පිටි කිරිවලට ජනතාව නැඹුරු වෙද්දී අවශ්‍ය පරිදි සැපයුම් ලබා දීමට කටයුතු නොකිරීමෙන් පැහැදිලිවන්නේ එම ආයතනවල පවතින ආකර්යක්ෂමතාවයි. නාස්තිය හා දූෂණය අවම කිරීම රජයේ ප්‍රතිපත්තියක් බැවින් කෝටි ගණනින් පිටිකිරි විනාශවීමට ඉඩහරින බලධාරීන් සම්බන්ධයෙන් කිසියම් පියවරක් ගැනීම රජයේ වගකීමකි.

කෝටි 50ක කිරි අහක ගිය හේතු
මිල්කෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්වලට අනුව කටුනායක ආයෝජන කලාපයේ පිහිටි ටියුනිප් ලංකා ආයතනයට දියර කිරි ටෙට්රා පැක් වශයෙන් ඇසුරුම් සිදුකිරීමට බාර දී ඇත්තේ එවැනි යන්ත්‍රයක් කුලියට හෝ ගැනීමට නොතිබූ බැවින් යැයි දැනගන්නට ලැබිණි. 2016 වැනි කාලයේ පටන් ඔවුන් මෙම ඇසුරුම් සිදු කර තිබේ. එම යන්ත්‍රාගාරය මගින් දියර කිරි ඇසුරුම් කිරීමෙන් පසු නරක් වීමක් සිදු වුවහොත් ටියුනිප් ලංකා ආයතනය එයට වගකිව යුතු වන අතර එහි වටිනාකම ගෙවිය යුතු බවට මිල්කෝ ආයතනය සමඟ ගිවිසුමක් පවතී. ලොරි 11 පවතින සියලු කිරි නරක් වූ ඒවා නොවේ. ඒවායේ නරක් වූ කිරි සහිත කාණ්ඩ කිහිපයක් හමුවී තිබේ.

එහෙත් ඒවා වෙළෙඳපොළට නිකුත් කළ නොහැක්කේ එම නරක් වූ කිරි පැකට් කාණ්ඩ ඇත්තේ අතරින් පතර වන බැවිනි. එහෙයින් සියලු කිරි පැකට් මිල්කෝ ආයතනය මගින් එකින් එක පරීක්ෂාවට ලක් කරමින් පවතී. නරක් නොවූ කිරි වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගැනීමට නියමිතය. දියර කිරි ලොරි 11ක් එකවර ගෙන ඒමට සිදුව ඇත්තේ කටුනායක ටියුනිප් ලංකා ආයතනයට ලබා දී තිබූ ආයෝජන මණ්ඩල අවසරය 2019 දෙසැම්බර් 31 දිනෙන් අවලංගු කිරීම හේතුවෙනි.
නරක් වූ පිටි කිරි තොගය සම්බන්ධයෙන් මිල්කෝ සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලට අනුව අඹේවෙල පිටි කිරි යන්ත්‍රාගාරයේ ධාරිතාව වැඩි කිරීම සඳහා නව යන්ත්‍රයක් යොදා ගැනුණේ 2017 අගෝස්තුවේය. එම අත්හදා බැලීමේදී සිදුවූ දෝෂයක් හේතුවෙන් එම පිටිකිරිවල අමිහිරි රසයක් ඇති විය. එහි කෝටි 50ක පමණ පිටි කිරි ඇති බව පැවසෙන අතර එතරම් ප්‍රමාණයක් විනාශ වීමට හේතුවී ඇත්තේ එවක විශාල කිරි අතිරික්තයක් පැවතීමයි. ගොවීන් තම දියර කිරි විකුණා ගත නොහැකිව මාර්ගවල කාණු දිගේ හලා දැමූ අතර මිල්කෝ සමාගම ගොවීන්ට සේවයක් ලෙස තම ආයතනය වෙත ගෙන එන ලද සියලු කිරි මිලදී ගැනීමට කටයුතු කළේය. එම කිරි ප්‍රමාණය එවක පැවැති නිෂ්පාදන ධාරිතාව ඉක්මවා ගිය ප්‍රමාණයකි. නව යන්ත්‍රාගාරයේ අත්හදා බැලීම් සඳහා යොදා ගැනුණේ එම අතිරික්ත කිරි ප්‍රමාණයයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු එම පිටි කිරි සත්ව ආහාර සඳහා විකුණා දැමීමට මිල්කෝ ආයතනය පියවර ගෙන තිබේ. එහෙත් සත්ව ආහාර සඳහා යැයි කියමින් පිටි කිරි මිලට ගත් ඇතැම් පුද්ගලයන් ඒවා විවිධ ලේබල් යොදා පැකට් කර මිනිස් පරිභෝජනයට සුදුසු පිටි කිරි ලෙස වෙළෙඳ පොළට දමා තිබිණි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ආමාත්‍යාංශයෙන්ද පරීක්ෂණ පවත්වා තිබේ. එහෙයින් සත්ව ආහාර සඳහා අලෙවි කිරීමද නවතා දැමීමට සිදු වූ බව මෙම තොරතුරු අප වෙත සැපයු පුද්ගලයා සඳහන් කළේය. මේ වනවිට මෙම පිටි කිරි සත්ව ආහාර සඳහාවත් භාවිත කළ නොහැකි බවද ඔහු කීවේය. පිටිකිරි තොගය භාවිතයට නොසුදුසු තත්ත්වයක පැවතීම මත ඉවත් කිරීමට සිදු වූ බැවින් ඉන් සිදු වූ අලාභය එම යන්ත්‍රය සවි කළ ඩෙන්මාර්ක් සමාගමෙන් අයකර ගැනීමට මිල්කෝ සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව එම සමාගමට යන්ත්‍රය වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් කොටසක් මේ වන විට අත්හිටුවා තිබේ.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස