ගෝඨා ජනපති කර ඇමරිකාවට ගිය බැසිල් ලංකාවට! මහින්ද අගමැති කරවන සටන අරඹයි!

February 3, 2020 at 5:48 pm | by emanisa.lk

ජනාධිපතිවරණයෙන් පසු ඇමෙරිකාව බලා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අද (03) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියේය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වු බැසිල් රාජපක්ෂ ජයග්‍රහණයෙන් සතියකට පසු ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

ඔහු නැවත දිවයිනට පැමිණියේ මාස 02 කට පමණ පසුවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානයක් බිහිවීම සහ ඉදිරි මහ මැතිවරණයේ දී තරග කරන ලකුණ සම්බන්ධයෙන් මේ වන විට දෙපාර්ශවය අතර කථා බහක් මතුව තිබේ.

පසුගිය සතියේ පොදුජන එක්සත් පෙරමුණු විධායක සභාව රැස් ව එහි නම ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය ලෙස වෙනස් කළ අතර එහි සම නායකයන් ලෙස මහින්ද රාජක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන ‍නම් කෙරිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 51%කුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 31% කුත් සෙසු පක්ෂවලට ඉතිරි කොටස් බෙදී යන ආකාරයෙන් සන්ධානය බිහිවන බව මෙහිදී ප්‍රකාශ විය. සන්ධානයේ ලකුණ බැසිල් රාජක්ෂ දිවයිනට පැමිණි පසු තීරණය කර ගන්නා බව ද කියවිණි.

කෙසේ වෙතත් මෙම කරුණුවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශවයේ එකගත්වය මෙතෙක් පළ ව නොමැත. බැසිල් රාජපක්ෂ අද දිවයිනට පැමිණියේ මෙවැනි පසුබිමක් තුළය.

බැසිල් රාජපක්ෂ පිළිගැනීම සදහා කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග, ජන මාධ්‍ය රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ප්‍රජා සේවා රාජ්‍ය ඇමති නිමල් ලාන්සා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් පැමිණ සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස