චීනයට හම්බන්තොට වරාය බදුදීම වැරදියි! ඒ ගනුදෙනුව අපි නැවත සලකා බලනවා! චීන ආයෝජනය ගැන මැසිවිලි නැතිව හැමෝම ඇවිත් ආයෝජනය කරන්න! – ජනපති ගෝඨා ලෝකයටම කියයි…

November 25, 2019 at 10:52 pm | by emanisa.lk

හම්බන්තොට වරාය චීනයට බදු පදනම මත ලබාදීම පසුගිය රජය මගින් සිදුවූ වරදක් බවත් එම බදු ගිවිසුම යලි සලකා බැලීමට තමන් සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය BharatShakti.inහි මාධ්‍යවේදී නිතින් ඒ ගෝක්ලී සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ ද පැවසීය.

“අපිට අවශ්‍ය මධ්‍යස්ථ රටක් බවට පත්වෙන්න. එය කළ හැකියි. ලෝකයේ උදාහරණ තිබෙනවා. වර්තමානයේ ගෝලිය දේශපාලනය ගත්තම ඉන්දියන් සාගරයට විශේෂ ස්ථානයක් හිමිවෙනවා.

අපේ රටේ භූගෝලීය පිහිටීම උපායමාර්ගිකව ඉතාම වැදගත් තැනක තියෙන්නේ. සියලුම මුහුදු මාර්ග ශ්‍රී ලංකාව පහු කරමින් ගමන් කරන්නේ. මේ මුහුදු මාර්ග මුළු ලෝකයටම නිදහස් විය යුතුයි. එක රටකට මේ මාර්ග පාලනය කරන්න බැහැ. අපිට මේ බලගතු රාජ්‍යවල බල අරගලවලට මැදි වෙන්න අවශ්‍ය නැහැ.

ඉන්දියාය සහ වෙනත් කිසිම රටකට හානිවෙන කිසිවක් අපි කරන්නෙ නැහැ. ඉන්දියාවේ සැලකිල්ලට භාජනය වී ඇති කරුණුවල වැදගත්කම ගැන අපිට තේරෙනවා. ඒ නිසා ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිදු ක්‍රියාකාරකමක නිරතවෙන්න අපිට බැහැ. මහින්ද රාජපක්ෂ රජය සමයේ අපි චීනය සමග එක්ව කටයුතු කළේ වාණිජමය වශයෙන් පමණමයි.

හම්බන්තොට වරාය ගත්තත් අපි වරායේ පාලනය කිසිදිනක චීනයට දෙන්න හිටියේ නැහැ. පසුගිය රජය 99 අවුරුදු බදු දුන්නා. චීනය අපේ හොඳ මිතුරෙක් වුණත් ඔවුන්ගේ උදව් සංවර්ධනයට අවශ්‍ය වුණත් වරාය ඔවුන්ට බදු දීම වරදක් බව කියන්න මම බය වෙන්නෙ නැහැ. ඒ ගැන නැවත සලකා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ ගනුදෙනුව ගැන ජනතාව සතුටින් නෙමෙයි ඉන්නේ. අවුරුද්දක් දෙකක් තුනක් ගැන නෙමයි අපි අනාගතය ගැන හිතන්න ඕනේ. ඒ නිසා අපි යළි සකා බැලිය යුතුයි. එක් පර්යන්තයක් වාණිජමය අවශ්‍යතා සඳහා දීම වෙනත් කාරණයක්.

ඉන්දියාව, සිංගප්පූරූව, ජපානය, ඔස්ට්‍රේලියාව චීන මැදිහත්වීම ගැන බියෙන් ඉන්නවා. නමුත් අපේ දෘෂ්ඨිකෝණය අනුව එය වාණිජ ගනුදෙනුවක්. ඒ නිසා ඉන්දියාව, සිංගප්පූරුව, ජපානය සහ ඔස්ට්‍රේලියාවටත් ලංකාවට පැමිණ මේ රටේ ආයෝජනය කරන්න කියලා මම ආරාධනා කරනවා. චීනයට පමණක් ආයෝජනය කරන්න දෙන්න එපා. එක රටකට පමණක් ඉඩදීලා ඉන්පසු මැසිවිලි නගන්න එපා.

මම මේක විවෘතව කියන්නේ, මට අවශ්‍යයි ඔවුන් මේ රටට ඇවිත් ආයෝජනය කරන්න. මට පැවති නීතී රෙගුලාසි එක්ක තිබුණ අපහසුතා ඉවත් කරන්න ඕනේ. මම එය රටේ යහපතට කරන්නේ. ආයෝජන සඳහා මිත්‍රශීලී පරිසරයක් මම නිර්මාණය කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස