කොරෝනා වසංගතයට වැට බඳින ශක්තිමත් තීන්දුවක් ගනී!ර්‍ ගුවනින් ලංකාවට එන්න කොරෝනා පරීක්ෂණ සහතික අනිවාර්යයි! 

May 6, 2020 at 11:25 am | by emanisa.lk

ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී කොවිඩ් 19 පරීක්ෂාව සිදු කර තිබීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ

සෞඛ්‍ය නිර්දේශ මත කටුනායක ගුවන්තොටුපොළේ හා ශ්‍රීලංකන් ගුවන් මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීම සඳහා වූ සාකච්ඡාවක් ඊයේ (05) පැවැති අතර එහි දී මෙම තීරණය ගෙන තිබේ.

කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ පවතින ආයතන ප්‍රධානීහු එක්ව සිටියහ.

කොවිඩ්-19 වසංගතයෙන් පසු සංචාරක හා ගුවන් සේවා කටයුතු යළි ආරම්භ කිරීමට අදාළ යෝජනා හා සැලැසුම් ආයතන මට්ටමින් වෙන් වෙන්ව සාකච්ඡා කෙරුණු අතර සංචාරක හා ගුවන් සේවා ක්ෂේත්‍රවලට අදාළව ඒකාබද්ධ සැලැසුමක් සැකැසීම පිළිබඳව ද මෙහි දී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.

කොරෝනා වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති සංචාරක ව්‍යාපාරය යළි නඟා සිටුවීම සඳහා වන සැලැසුම් පිළිබඳව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු මෙහි දී පැහැදිලි කළාය. සංචාරක හෝටල් නැවත ඇරැඹීමේ දී ඒ සඳහා අනුගමනය කළ යුතු වැඩපිළවෙළ සෞඛ්‍ය අංශ සමඟ එක්ව දැනටමත් සකස් කර ඇතැයි සභාපතිවරිය මෙහි දී කියා සිටියාය.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි කටුනායක ගුවන්තොටුපොළ මෙහෙයුම නැවත ආරම්භ කිරීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙළ ඇමැතිවරයාට පැහැදිලි කරමින් ගුවන් මගීන් ශ්‍රී ලංකාවට පැමිණීමේ දී කොවිඩ්-19 පරික්ෂාව සිදු කර තිබීම අනිවාර්ය බවත් ශ්‍රී ලංකාවෙන් පිට වීමේ දී ද ඒ හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය උපදෙස් දී ඇති බවත් මෙහි දී කියා සිටියේය.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරණ මෙහි දී කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා ජාත්‍යන්තර ගුවන් ගමන් නිර්නායක අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ද සිය මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස