සිරිපා වන්දනාව නවතා දැමේ! සියලු වන්දනා නඩ සහ සංචාරකයන් හරවා යැවේ!

March 20, 2020 at 9:17 am | by emanisa.lk

කොරෝනා වෛරසය පැතිර යෑම අවම කිරීම සඳහා හැටන් මාර්ගය ඔස්සේ ශ‍්‍රීපාද වන්දනාවේ වාහනවලින් සහ දුම්රියෙන් පැමිණෙන සංචාරකයන් නල්ලතන්නිය වෙත ඇතුළත් නොකිරීමට හැටන් පොලිසිය කටයුතු කරයි.

‘කොවිඞ් 19’ වෛරසය පැතිර යෑමේ අවදානම නොතකා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පසුගිය දින කිහිපය තුළම හැටන් මාර්ගය ඔස්සේ පැමිණීම නිසා නල්ලතන්නිය නගරය වෙත සංචාරකයන් සහ වන්දනාකරුවන් ඇතුල් වන බගවන්තලාව, නොර්වුඞ්, හැටන්, නෝටන්බි‍්‍රජ්, කළුගල සහ දියගල යන ස්ථානවල පොලිස් නිලධාරින් මාර්ග බාධක යොදවා වන්දනාවේ වාහනවලින් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ආපසු හරවා යැවීමට ඊයේ (19) පොලිසිය පියවර ගත්හ.

හැටන් දුම්රිය ස්ථානය වෙත පැමිණි හැටන් පොලිස් අධිකාරී චූලනි වීරරත්න හැටන් දුම්රිය ස්ථානයේ සිට දෙස් විදෙස් සංචාරකයන් නල්ලතන්නිය දක්වා ප‍්‍රවාහනය කරන ලංගම, පෞද්ගලික බස්රථ, ත‍්‍රිරෝද සහ වෑන් රථ ධාවනය කිරීමද තාවකාලිකව නතර කිරීමට පියවර ගනු ලැබිණ.

හැටන් දුම්රිය ස්ථානය වෙත ළඟාවන සෑම දුම්රියක්ම පැමිණීමෙන් පසු කොවිඞ් 19 වෛරසය පැතිර යෑමේ අවදානම පිළිබඳව සහ හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා කිසිදු ප‍්‍රවාහන පහසුකමක් ලබා නොදෙන  බවට සිංහල සහ ඉංග‍්‍රීසි භාෂාවෙන් ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් දැනුවත් කිරීමටද හැටන් දුම්රිය ස්ථාන නිලධාරින් කටයුතු කර ඇත.

මේ අතර දෙස් විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පිවිසෙන හැටන් දුම්රිය ස්ථානය හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් ජිවානුහරණය කිරීමට පියවර ගැනුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස