කටුවාපිටියේ පල්ලිය අසල සුරුවමක් කඩා දමයි! කාදිනල්තුමා පැමිණ ඇවිළ ගිය මහ ගින්න නිවා දමයි!

August 7, 2019 at 8:58 am | by emanisa.lk

අප්‍රේල් 21 වැනි පාස්කු ඉරු දින ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූ මීගමුව කටුවපිටිය පල්ලියට ආසන්නව තිබෙන පිළිමයකට (සුරුවමකට) ඊයේ (05) නාදුනන පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ.

අප්‍රේල් 21 වැනි දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන්හි ප්‍රධාන ඉලක්කයක් වූ කටුවපිටිය පල්ලියට එල්ල කළ ප්‍රහාරයෙන් එහි සිටි බැතිමතුන් 100කට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් විය.

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික පියතුමන්ලා එම ප්‍රදේශයට ගොස් සිද්ධිය වූ ස්ථානයේ සිටින අසල්වාසීන් සමඟ සාකච්ජා කර තත්ත්වය සමනය කිරීමට කටයුතු කළේය. කිසිදු ගැටුමක් ඇති කර නොගන්නා ලෙස ද එතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහිදී එම අසල්වාසීන් පවසා තිබෙන්නේ සිය ප්‍රදේශය අනාරක්ෂිත බැවින් ක්ෂණිකවම විසඳුම් ලබා දිය යුතු බවය. එසේම මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුදැයි හෙළිකර තමන්ට යුක්තිය ඉටු කිරීමට කටයුතු කළ යුතු බවට ඒ ජනතාව හඬ නැඟුහ. මේ වන විට පල්ලියේ ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂ හමුදාව ඉන් ඉවත් කර ඇති බවට ද එහි දී චෝදනා නැඟිණි.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සාධාරණය ඉටුකර දෙන ලෙස ඉල්ලමින් කටාන, කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ආසන්නයේ සාමකාමි විරෝධතාවක් ද පැවැත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස