එජාප කඳවුරේ අපේක්ෂකයා තෝරන්නේ අපි! ඒකට වෙන අයට ඇඟිලි ගහන්න බෑ! අනිත් අය ඔහු දිනවන්න කැපවෙන්න ඕන! – පාඨලීගේ කනට ගැසූ අකිලගේ නිවේදනය මෙන්න….

September 17, 2019 at 5:15 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය ජනපතිවරණයට ඉදිරිපත්වන්නේ සන්ධානයකින් වුවත් ජනපති අපේක්ෂකයා තෝරා ගන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර ඊයේ (16) මාධ්‍ය හමුවක් කැඳවමින් ඇමති පාඨලී චම්පක රණවක ප්‍රකාශ කළේ එජාප කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා එජාපයේ අනුමැතිය මත නොව ආණ්ඩුවේ මන්ත්‍රීවරු 106 දෙනාගේ කැමැත්ත අනුව තෝරාගත යුතු බවය. ඇමති පාඨලීගේ ප්‍රකාශයට විසි හතර පැයක් ගෙවෙන්නටත් පෙර මෙම නිවේදනය නිකුත් වීම විශේෂත්වයකි.

මහ ලේකම්වරයාගේ නිවේදනයේ මෙසේ සඳහන් වෙයි.

“එළැඹෙන ජනාධිපතිවරණය සඳහා තෝරා ගනු ලබන අපේක්‍ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්‍ෂය තුළ හා ඒ සමග සන්ධාන ගතවන පක්‍ෂ සහ සංවිධාන තුළ අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ශවයන් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර තිබේ.

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සන්ධානයකිනි. ඒ සන්ධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි හමාරය.

ඒ එකඟතාවන්ට අනුව අපේක්‍ෂකයා ඉදිරිපත් කෙරෙනුයේ එක්සත් ජාතික පක්‍ෂයෙනි. මේ පදනම මත එක්සත් ජාතික පක්‍ෂය මගින් සුදුසු අපේක්‍ෂකයා තෝරා පත් කර ගැනීමට කටයුතු කෙරෙනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් හා සම්ප්‍රදායන් ආරක්‍ෂා කර ගනිමින්, පක්‍ෂයේ ව්‍යවස්ථාවට අනුව අපේක්‍ෂකයා තෝරා ගන්නා බවත්, ඒ තෝරා ගැනීමෙන් පසු සන්ධානයට අයත් සියලු පාර්ශවයන්ගේත්, අපේ ප්‍රතිපත්ති හා එක් විය හැකි අනෙක් සියලු සංවිධාන සහ පුද්ගලයන්ගේත් සහය ඇතිව අපේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කරවීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ සියලු දෙනා පරිපූර්ණ ලෙස කැපවී කටයුතු කරන බවත් අවධාරණය කරනු කැමැත්තෙමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස