එජාප මන්ත්‍රී පිරිසේ නෙමේ ආණ්ඩුවේ බහුතර මන්ත්‍රී කැමැත්තෙන් අපේක්ෂකයා තෝරන්න! – පාඨලී

September 17, 2019 at 12:10 am | by emanisa.lk

එජාප කඳවුරේ අපේක්ෂකයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 106 දෙනා කැඳවා ඔවුන්ගේ කැමැත්ත අනුව තෝරාගත යුතු බව ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු මෙම අදහස් පළකර සිටියේ අද (16) දින ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

“අපේ යෝජනාව මෙය පුළුල් සන්ධානයකින් තරඟ කරන්න යන නිසාත්, එක්සත් ජාතික පක්ෂයට තවමත් මේ පිළිබඳව යෝජනාවක් සිදු කර ගැනීමට හැකියාවක් ලැබිලා නැති නිසාත් දැනට රජය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම මන්ත‍්‍රීවරු 106 ක් ඉන්නවා. එම 106 දෙනා වහාම කැඳවලා ඔවුනගේ බහුතර කැමැත්ත සහිත අපේක්‍ෂකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුයි කියන එක තමයි අපගේ යෝජනාව.

දැනට පාර්ලිමේන්තුවේ 106 න් 77 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට අයිතියි. අනෙකුත් අය අනෙක් පක්ෂවලට අයිතියි. එතකොට අපගේ යෝජනාව මේක දිගටම, අරයද, මෙයාද, ජනමත සමීක්‍ෂණ ද නැද්ද කියලා සාකච්ඡා කර කර ඉඳීමෙන් අපි කාලය නාස්ති කරලා වැඩක් නැහැ. අපි වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙමින් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා ඉන්න 106 අතරින් සුදුසු ජනාධිපති අපේක්ෂකයා පත් කර ගත යුතුයි. එය වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදීයි.

එම 106 දෙනාම ඇවිත් ඉන්නේ කවර හෝ ජනවරමකින්. ඒ වගේම එම අය පසුගිය කාල වකවානුව පුරා මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට අර්බුද ඇති වූ වෙලාවේ ඒවා රැකගන්න කටයුතු කරපු අය සිටිනවා. ඒ නිසා එම පිරිසට තමයි ප‍්‍රථම අයිතිය තිබෙන්නේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා තෝරා ගන්න කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේක රටේ අලූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායක්. පුද්ගලයෝ නම් කර උඩින් පාත් කරනවා කියනවා, පැරෂුට් කාරයෝ ගේනවා කියනවා. එහෙම ගැටලුවක් නැහැ. දැන් මේ දෙපලටම පුළුවන් මේ 106 දෙනා ඉදිරියට ගිහින් සුදුසු අපේක්ෂකයා කවුද කියලා තෝරා ගන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස