පඩි ඉල්ලලා රණවිරුවෝ විරෝධතා කරන එකම රට මේක! අපේ අත්පා රැකුණේ ඔවුන් අත්පා පූජා කළ නිසායි! වීරයෝ මහපාරේ තෙමෙද්දී මේ රටේ නැවත උපදින්න හිතෙන්නේ නෑ! – නාරා ටී. අරුණ්කාන්ත් (video)

September 26, 2019 at 12:11 am | by emanisa.lk

මේ රට වෙනුවෙන් අතපය පූජා කළ රණවිරුවන්ට සිය වැටුප වෙනුවෙන් මේ ආකාරයට විරෝධතා සත්‍යග්‍රහ කිරීමට සිදුවීම පිළිබඳ තමා මහත් ලැජ්ජාවට පත්වන බව ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක නාරා ටී. අරුණ්කාන්ත් පවසයි.

තමා දිනපතා කෝවිලට ගොස් දෙවියන් වැඳ ඊළඟ ආත්මයෙන් මේ රටේ උපදින්න ලැබේවා ප්‍රාර්ථනා කරන පුද්ගලයකු වුවත් බෙදුම්වාදයෙන් රට බේරාගත් රණවිරුවන් මේ ආකාරයට මහ පාරේ අසරණ වී සිටිනු දකින විට නැවත වරක් නම් මේ රටේ නූපදීවා යැයි ප්‍රාර්ථනා කිරීමට සිතුණු බව ද හෙතෙම සඳහන් කරයි.

ලෝකයේ යුද්ධයක් ජයග්‍රහණය කළ කිසිම හමුදාවකට මේ ආකාරයට සිය වැටුප ලබා ගැනීමට සත්‍යග්‍රහ උපවාස කිරීමට සිදුව නැතැයි ද තමා ලාංකිකයකු ලෙස රටේ රණ විරුවන් මේ තත්ත්වයට පත්වීම පිළිබඳ අතිශය ලැජ්ජාවට පත්වන බව ද ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලය ඇමරිකාව රුසියාව පමණක් නොව ඉන්දියාවේ පළමු තැනෙහිලා සලකන්නේ රණවිරුවන් බවත් විනිසුරුවරු වෛද්‍යවරු ඉංජිනේරුවන් සිටින්නේ ඊට වඩා පහළින් බවත් පවසන අරුණ්කාන්ත් අපේ රටේ රණ විරුවන් සිටින්නේ ලැයිස්තුවේ අන්තිමට බව මෙහි පැමිණි විට පැහැදිලි වූයේ යැයි පෙන්වා දෙයි.

රණවිරුවන් සටන් කළේ අත්පා අහිමි කරගත්තේ සිංහල ජනතාව වෙනුවෙන් පමණක් නොව සමස්ත ලාංකේය ජාතිය වෙනුවෙන් සටන් කර බවත් ඔහු දෑත් දෙපා අහිමි කරගත් නිසා මගේ දෑත් දෙපා ඉතිරි වූ බවත් ඔහු පැවසුවේය. එසේ නොවන්නට කොතැන හෝ බෝම්බයකට හසු වී තමාගේ ද අත් පා අහිමි වන්නට තිබුණු බව හෙතෙම සිහිපත් කළේය. අද දේශපාලකයන්ට කිසිදු බයක් සැකක් නැතිව රට පුරා ගොස් දේශපාලන රැලි තැබීමට හැකි වී තිබෙන්නේ ද රණවිරුවන් කළ කැප කිරීම් නිසා බව ඔහු අවධාරණය කළේය.

එහෙයින් ජාත්‍යන්තරය ඉදිරියේ රණ විරුවන් හෑල්ලුවට ලක් නොකර මේ ප්‍රශ්නය වහාම විසඳීමට මැදිහත් වන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය. පාලකයන් රණවිරුවන්ට සලකන ආකාරය ළමයින් සහ තරුණයන් බලා සිටින බවත් නැවත යුද්ධයක් කිරීමට සිදුවුවහොත් කිසිවකු හමුදාවට බැඳේවි දැයි විමසූ අරුණ්කාන්ත් රටේ පාලකයන් මේ පිළිබඳ ලැජ්ජාවට පත්විය යුතු යැයි ද සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස