උතුරේ ප්‍රාදේශීය දේශපානඥයෝ ඊළම ප්‍රතික්ෂේප කරති! හිටපු කාරතිව් සභාපති ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට එක්වෙයි!

August 4, 2019 at 4:11 pm | by emanisa.lk

ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ (EPRLF) දේශපාලන මණ්ඩල සභික කාරතිව් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රාසයියා සෙල්ලයියා පසුගියදා (02) ලංකා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට (CNDP) එකතු විය.

බෙදුම්වාදයට ආගමික අන්තවාදයට එරෙහිව රටට ශක්තිමත් නායකත්වයක් බිහි කර ගැනීමේ අරමුණින් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආරම්භ කළේ පසුගිය සතියේය. එහි නායකත්වය දරන්නේ ජාතික හින්දු සම්මේලනයේ සභාපති නාරා අරුණ්කාන්ත්ය.

මෙම දේශපාලන පක්ෂය රට පුරා දිස්ත්‍රික් 21ක මේ වන විටත් සිය සංවිධාන කටයුතු ආරම්භ කර ඇති අතර එම පක්ෂය ඉතාම කෙටි කාලයක් තුළ මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීම දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

දෙමළ ජාතික සන්ධානය පසුගිය සමයේ ගෙන ගිය සිංහල විරෝධී බෙදුම්වාදී දේශපාලන භාවිතාව උතුරේ බිම් මට්ටමේ දේශපාලන නායකත්වය විසින් ප්‍රතික්ෂෙප කරන බවට මෙය කදිම නිදසුනක් බව CNDP නායක නාරා අරුණ්කාන්ත් පවසයි.

ඉදිරියේදී උතුරේ තවත් දේශපාලන නායකයන් සහ ජනතාව තම පක්ෂය වටා ඒකරාශී වන බවත් සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව බෙදුම්වාදයට ආගමික අන්තවාදයට එරෙහි සියලු දෙනාට සිය පක්ෂය සමග අත්වැල් බැඳගන්නා ලෙස ආරාධනා කරන බවත් බෙදුම්වාදයට අන්තවාදයට එරෙහි දේශපාලන කණ්ඩායම් සමග කටයුතු කිරීමට තමන් සූදානම් බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස