ගෝල්ෆේස් රැලියේ දෙමළ මුස්ලිම් නායකයන්ට කතා නෑ! රිෂාඩ්, මනෝ, හකීම්, රහ්මාන් වේදිකාව පිටුපස හංගයි!

October 10, 2019 at 11:01 pm | by emanisa.lk

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල ජනරැලිය අද (10) හවස ගාලු මුවදොර දී පැවැත්විණි.

මෙම ජනරැලියට රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, මුජිබර් රහුමාන්, මනෝ ගනේෂන් ආදී මුස්ලිම් දෙමළ නායකයන් සිය ආධාරකරුවන් බස් පුරවා රැගෙන පැමිණිය ද කිසිවකුට කතාවක් හිමි වූයේ නැත.

ඊයේ පොහොට්ටුවේ අනුරාධපුර රැලිය හිටපු ඇමති අතාවුල්ලා ඇමතුව ද මුස්ලිම් සහ දෙමළ නායකයන් ගණනාවක් නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණු මංගල රැලිය අමතන්නට කිසිවකුට ඉඩ ලැබුණේ නැත.

මෙයට හේතු ගණනාවක් බලපා ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ආණ්ඩුව නියෝජනය කරන දෙමළ මුස්ලිම් නායකයන් අතර මතුව ඇති ගැටුම් ඊට එක් හේතුවකි. එක් අයකුට කතාවක් ලබා දෙන්නේ නම් අනෙක් සියලු දෙනා කතා ඉල්ලා අරගල කිරීම නිසා සංවිධාකයන් මහත් අපහසුතාවට ලක්ව ඇත.

අනෙක් අතට ආණ්ඩුව ප්‍රාණ ඇපයට ගෙන සිටින දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් නායකයන්ට මෙම රැලියේදී කතා ලබා දීමට එරෙහි වී ඇත. දකුණේ ජන මතයට අහිතකර ලෙස බලපෑම් කළ හැකි නිසා මැතිවරණ දිනය ආසන්නයේ එජාප අපේක්ෂකයාට සහාය ලබා දීමට සැලසුම් කර ඇති දෙමළ සන්ධානය තරහ කර ගැනීමට අකමැති වූ ආණ්ඩුව සුළු පක්ෂ නායකයන් අතර ඇති වූ තරඟය ඉදිරියට දමා ඔවුන් කිසිවෙකුට කතා ලබා නොදී සිටීමට කටයුතු කර තිබේ.

අනෙක් අතට එජාප සිංහල බෞද්ධ සහ කතෝලික ඡන්ද පදනම සම්පූර්ණයෙන් නාය ගොස් ඇති පසුබිමක රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම් ඉදිරියට දැමීම ඉතාම අවාසිදායක බව එජාප නායකයන් පිරිසකගේ අදහස වී තිබේ.

මේ නිසා අවසානයේ සිදු වූයේ එජාපෙ නියෝජනය කරන සියලුම දෙමළ සහ මුස්ලිම් පක්ෂ නායකයන්ට ගාලු මුවදොර සජිත් ප්‍රේමදාසගේ මංගල ජන රැලිය ඇමතීමට ඉඩක් නොලැබ පේක්ෂකයන් වීමටය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස